26.4 C
Colombo
ඉරිදා, මැයි 19, 2024

ආසියානු සංවර්ධන බැංකු සමුළුවේ සභාපති පදවිය ජනපතිට

Must read

ආසියානු සංවර්ධන බැංකු අධිපතිවරුන්ගේ 55 වැනි සමුළුවේ මුලසුන දැරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම 28 දා පිලිපීනය බලා පිටත්ව යාමට නියමිතය.

මෙවර ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිතව තිබූ ආසියානු සංවර්ධන බැංකු අධිපතිවරුන්ගේ 55 වෙනි සම්මේලනය රටේ පැවැති ආර්ථික හා අරගලකාරී තත්ත්වය හේතුවෙන් පිලිපීනයේ මැනිලා නුවරදී පැවැත්වෙන අතර, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජපානයේ පැවැත්වෙන හිටපු ජපාන අගමැති ෂින්ෂෝ අබේ මහතාගේ නිල අවමංගල උත්සවයට සහභාගි වීමෙන් අනතුරුව එම සමුළුවට සහභාගි වීමට මෙම 28 වැනිදා පිලිපීනය බලා යයි.

ලබන 26 දා සිට 30 දා දක්වා කාලය තුළ පිලිපීනයේ මැනිලා නුවරදී සමුළුව පැවැත්වේ. ආසියානු සංවර්ධන බැංකුවේ සාමාජික රටවල මුදල් ඇමැතිවරු, මහ බැංකු අධිපතිවරු ඇතුළු මුදල් අමාත්‍යාංශ නිලධාරීන් සමුළුවට සහභාගීවීමට නියමිතය. ආසියානු සංවර්ධන බැංකුව සාමාජික රටවල් 68 කින් සමන්විත අතර ආසියානු සාමාජිකයන් 49 ක් හා අනෙකුත් පිටස්තර සාමාජිකයන් 19 ක් ඇතුළත්ය.

ආසියානු සංවර්ධන බැංකු සමුළුවේ සභාපතිත්වය මෙවර ශ්‍රී ලංකාවට හිමි වන්නේ 2016 දී එවක මුදල් ඇමැති රවි කරුණානායක මහතා කළ ඉල්ලීමකට අනුවය. වසර දෙකකට වරක් පැවැත්වෙන මෙම සමුළුව ශ්‍රී ලංකාවට ඩොලර් ගෙන එන ඉතා වැදගත් ආයෝජනයක් කර ගැනීමට තිබූ අවස්ථාව ඉකුත් ආණ්ඩුවේ ක්‍රියාකලාපය හේතුවෙන් මඟ හැරී ගිය බව හිටපු මුදල් ඇමැති රවි කරුණානායක ප්‍රකාශ කළේය. වසර දෙකක කාලයක් සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් ඇමැති ලෙස මෙහි සභාපතිත්වය දරනු ඇත.

මෙම වසරේ මාර්තු මාසයේදී සමුළුව මෙරට පැවැත්වීමට නියමිතය තිබූ අතර කොවිඩ් සහ ආර්ථික ගැටලු නිසා එය පැවැත්විය හැකි වාතාවරණයක් රට තුළ නොමැති බව හිටපු මුදල් ඇමැති මහින්ද රාජපක්ෂ මහතා දැනුම් දී තිබූ හෙයින් පිලිපීනයේ මැනිලා නුවරදී සමුළුව පැවැත්වීමට ආසියානු සංවර්ධන බැංකුවේ බලධාරින් කටයුතු කළ බවත් කරුණානායක මහතා සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පිලිපීනයේදී එරට ජනාධිපති බොන්ග් බොන්ග් මාර්කොස්, ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති එම්. අසකාවා (Masatsugu Asakawa) මහත්වරුන් සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබේ. ජනාධිපති වික්‍රමසිංහ මහතා මෙම 30 දා යළි දිවයිනට පැමිණීමට නියමිතය.

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, සහ ජනාධිපති පෞද්ගලික ලේකම් සැන්ඩ්‍රා පෙරේරා යන මහත්ම මහත්මීහු මෙම සංචාරයට එක්වන අතර ජනාධිපතිවරයාගේ පිලිපීන නිල සංචාරයට මහා භාණ්ඩාගාර ලේකම්වරයා ද එක්වීමට නියමිතය.

More articles

Latest article