28 C
Colombo
සෙනසුරාදා, අප්‍රේල් 27, 2024

පළමු ඇඹුල් කෙසෙල් තොගය ඩුබායි වලට

Must read

ශ්‍රී ලංකාවෙන් අපනයනය කරනු ලබන පළමු ඇඹුල් කෙසෙල් තොගය ඩුබායි වෙත අපනයනය කිරීම අද (26) සිදු කෙරේ. කෘෂිකර්ම අමාත්‍යාංශයේ විදේශ අරමුදල් මත ක්‍රියාත්මක වන කෘෂි නවීකරණ ව්‍යාපෘතිය යටතේ රාජාංගණය ප්‍රදේශයේ අක්කර 500ක වගා කර තිබෙන ඇඹුල් කෙසෙල් මෙසේ පළමුවරට විදේශ වෙළෙඳ පොළට යැවීමට කටයුතු යොදා ඇත.ඩුබායි වෙත අපනයනය කෙරෙන පළමු තොගය වශයෙන් රාජාංගණයේ වගා කරන ඇඹුල් කෙසෙල් කිලෝග්‍රෑම් 12,500ක් අපනයනය කිරීමට කටයුතු යොදා ඇත.

ඒ අනුව මින් ඉදිරියට සෑම සතියකම සෙනසුරාදා දිනය තුළ ශ්‍රී ලංකා ඇඹුල් කෙසෙල් ඩුබායි වෙළෙඳපොළට අපනයනය කිරීමට කටයුතු යොදා තිබේ.

එමඟින් සතිපතා ඩොලර් 10,000ක ආදායමක් රටට ලබා දීමට කටයුතු කර තිබේ.

මෙම කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා ඊයේ (25)කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා කොළඹ වොක්ෂොල් වීදියේ Development Interplan Ceylon PVT LTD ආයතනයට ගියේය.

අප රට ඩොලර් අර්බුදයකට මුහුණ දී සිටින අවස්ථාවක විදේශ විනිමය ඉපයීම ඉලක්ක කර ගනිමින් කෘෂිකර්ම අමාත්‍යාංශයේ කෘෂි නවීකරණ ව්‍යාපෘතිය විසින් ආරම්භ කරන ලද මෙම වැඩපිළිවෙළ ශ්‍රී ලංකාවේ නාමය අන්තර්ජාතික කීර්තියට පත් කරන අවස්ථාවක් බව මෙහිදී කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා කීය. අපේ රටේ සෑම දෙයකටම විවේචන එල්ල කරන පිරිසක් සිටින අවස්ථාවක අපේම රටේ මහ පොළවේ වැවුණු ඇඹුල් කෙසෙල් අද දින ජාත්‍යන්තර වෙ‍ළෙඳපොළට යැවීමට හැකි වීම අප ලත් ජයග්‍රහණයක් බව ද පැවැසූ ඇමැතිවරයා පෙන්වා දුන්නේ අනාගතයේ දී අපේ රටේ කෘෂිකර්මාන්තයෙන් ඉහළ ආදායම් ඉපයීම මෙන්ම අපේ කෘෂි නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ ජයග්‍රහණය කළ හැක්කේ ද නවීන කෘෂි තාක්ෂණය, උපකරණ හා වෙළෙඳපොළ ගොවි ජනතාවට හඳුන්වා දීම මතින් පමණක් බවයි.

මේ සම්බන්ධව පෙරමුණ ගෙන කටයුතු කරන කෘෂි නවීකරණ ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ ආචාර්ය රොහාන් විජේකෝන් මහතා ඇතුළු කණ්ඩායමට ඇමැතිවරයා තම කෘතඥතාවය පළ කළේය.

More articles

Latest article