25 C
Colombo
අඟහරුවාදා, මැයි 14, 2024

නිවාස සංවර්ධන අධිකාරි‍යේ කළුතර දිස්ත්‍රික් කාර්යාලයේ නවයකගේ වැඩ තහනම්

Must read

ණයලාභීන්ගේ ණය වාරිකවලින් රුපියල් කෝටි ගණනාවක මූල්‍ය වංචාවක් කිරීමට අදාළව ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ කළුතර දිස්ත්‍රික් කාර්යාලයේ ගණකාධිකාරිනිය හා විගණන නිලධාරි ඇතුළු නව දෙනෙකුගේ වැඩ තහනම් කර තිබේ.

මොවුන් සම්බන්ධයෙන් මේ වන විටත් විමර්ශන සිදු කෙරෙන බව ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සාමාන්‍යාධිකාරී ඉංජිනේරු කේ. ඒ.ජානක මහතා ඊයේ (26) පැවසීය.

වැඩ තහනම් කළ අය අතර ආදායම් ප්‍රවර්ධන නිලධාරියකු, විගණන නිලධාරියකු සහ ගිණුම් ලිපිකරුවන් දෙදෙනකු ද වෙති. අධ්‍යක්ෂ මණ්ඩලයේ තීරණයක් අනුව ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සාමාන්‍යාධිකාරිවරයාගේ අත්සනින් යුතුව සේවය පැහැර හැරීමේ චෝදනාව යටතේ එම නිලධාරීන්ට වැඩ තහනම් කරන ලද ලිපි නිකුත් කර තිබේ. ඔවුන්ට විදේශගත වීමේ අවසරය නැති බවත් නිවාස අධිකාරියට අදාළ කිසිම ආයතනයකට ඇතුළුවීම තහනම් වන අතර වැටුප් රහිතව එම වැඩ තහනම කර ඇති බව එම ලිපියේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

මේ මූල්‍ය වංචාව සම්බන්ධයෙන් මීට පෙර පරිගණක ක්‍රියාකරන නිලධාරියකු සහ ලිපිකරුවන් තිදෙනකුගේ වැඩ තහනම් කරනු ලැබීය. 2018 සහ 2022 වසර තුළ මේ මූල්‍ය වංචාව කර ඇත්තේ විසිරි ණය ලෙස අඩු ආදායම්ලාභීන් වෙත දුන් ණය සඳහා ඔවුන් නැවත දුන් වාරික මුදල්වලින් හා උපහාර නමින් රාජ්‍ය සේවකයන්ට දුන් ණය සඳහා ඔවුන් ආපසු දෙන වාරික මුදල්වලින්ය. ණය හිමියන්ගෙන් වාරික මුදල් අය කර ගැනීමට බාහිර පුද්ගලයන්ට අමතරව ස්වකැමැත්තෙන් ස්ථිර සේවකයන්ද ඊට සම්බන්ධ වී ඇති අතර ඔවුන්ට වැටුපට අමතරව කොමිස් මුදලක් දීමේ හිමිකමද අයත්ව පවතී. මේ මහා පරිමාණ වංචාව කර ඇත්තේ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේම ස්ථිර සේවයේ යෙදෙන අය බවත් ඔවුන් බහුතරයක් දෙනා ලිපිකරුවන් බවත් එම ආරංචි මාර්ග පවසයි. ඊට අමතරව මේ කූට වංචාව කළ ඇතැම් නිලධාරීන් හිටපු දිස්ත්‍රික් කළමනාකරුගේ නිල මුද්‍රාව සොරාගෙන උපහාර ණය ගත් පුද්ගලයන් හමුවට ගොස් ඔවුන් දැනට ගෙවීමට ඇති මුදලින් හරි අඩක් ගෙවා දැමුවොත් ඉතිරි කොටස කපා දමන බවට පවසා එකී මුදල් වංචනික ලෙස ගෙන “ඔබ ගත් ණය නිසි අයුරින් ගෙවීමට කටයුතු කිරීම පිළිබඳ අගය කරන බව” සඳහන් කර ස්තුතිපූර්වක ලිපි හිටපු දිස්ත්‍රික් කළමනාකරුගේ අත්සන ව්‍යාජ ලෙස යොදා නිකුත් කර තිබෙන බව මේ වන විට අනාවරණය වෙමින් පවතින බව එහි ප්‍රකාශකයෙක් පැවසීය.

ඊට අමතරව විසිරි හා උපහාර ණය ගත් ගනුදෙනුකරුවන් හමුවට ගොස් වාරික මුදල් එකතු කිරීමේදී කිසියම් ණයලාභියකු ඉහළ අගයක් තිබෙන මුදලක් දුනහොත් බිල් පොතේ පළමුවන පිටපත නිසි අයුරින් සටහන් කර ණයලාභියා වෙත දී දෙක සහ තුන පිටපත්වල අඩු අගයක් සටහන් කර එකී මුදල දහස් ගණනින් සාක්කුවේ දමාගෙන මේ කූට වංචාව තවත් ආකාරයකින් කර තිබෙන බවද මේ වන විට කළ විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි ප්‍රධාන කාර්යාලයේ උසස් නිලධාරියෙක් පැවසීය.

ඒ ආකාරයෙන් අඩු අගයක් සටහන් කර රැගෙන එන ලද බිල්පත්වල සටහන් ඒ ආකාරයෙන්ම පරිගණකගත කළ බවට අනාවරණය වූ ණය වාරික මුදල් එකතු කිරීමේද අමතරව රැකියාවේ යෙදුණු පරිගණක නිලධාරීන් සිවුදෙනකු කිසිදු වැඩ තහනමකට ලක් නොකර ප්‍රධාන කාර්යාලයට මාරු කර මේ වන විටත් සේවයේ යෙදීම සිදු කරන පර්යේෂණවලටද දැඩි බාධාවක් බව එම නිලධාරියා කීය.

තවද පවතින චක්‍රලේඛ නීතිරීතිවලට පටහැනිව ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ කළුතර දිස්ත්‍රික් කාර්යාලය පෝය දිනක ශ්‍රමදානයක් පවත්වන මුවාවෙන් විවෘත කර එහි ගබඩා කර තිබූ ණයලාභීන් මුදල් ගෙවූ රිසිට්පත් අඩංගු බිල්පොත් හා ඊට අදාළ වැදගත් ලිපි ලේඛන තොගයක් හෑගල්ල නිවාස ගම්මානයේ පිහිටි ගබඩාවේ ගබඩාගත කරන මුවාවෙන් රැගෙන ගොස් එයින් බහුතරයක් සැලසුම් සහගතව ගිනි තබා විනාශ කර ඇති අතර ඒ සඳහා විගණන නිලධාරියකු, කළමනාකරුවකු, අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු ඇතුළු මහා පරිමාණ මූල්‍ය වංචාවට සම්බන්ධ කීපදෙනකු එක්ව කටයුතු කර ඇතත් මේ දක්වා ඒ සම්බන්ධයෙන් ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ ප්‍රධාන කාර්යාලයෙන් වගකිවයුතු නිලධාරියකු කිසිදු විමර්ශනයක් හෝ සොයා බැලීමක් කර නැතැයිද අභ්‍යන්තර ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ කළුතර දිස්ත්‍රික් කාර්යාලය තුළ තවමත් සිදුවන මේ කෝටි ගණන් මුදල් වංචාව සම්බන්ධයෙන් ජනාධිපතිතුමාගේ මෙන්ම විෂය භාර අමාත්‍යවරයාගේ කඩිනම් අවධානය යොමු වී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කර නිසි විමර්ශනයක් කර වංචාකාරී අයුරින් ගත් මුදල් අය කරගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස අවංකව රාජ්‍ය සේවයේ යෙදෙන එම කාර්යාලයේ නිලධාරීන් මෙන්ම සේවක පිරිසක් ඉල්ලා සිටිති.

More articles

Latest article