29 C
Colombo
සෙනසුරාදා, මැයි 4, 2024

වෛද්‍යවරුන් ගොනු කළ පෙත්සමට අදාළ තහනම් නියෝගය දීර්ඝ කෙරේ

Must read

රාජ්‍ය සේවකයින් වයස අවුරුදු 60 දී විශ්‍රාම ගැන්වීමට අමාත්‍ය මණ්ඩලය ගනු ලැබූ තීරණය මත නිකුත් කළ ගැසට් නිවේදනය විශේෂඥ වෛද්‍යවරුන් සහ වෛද්‍යවරුන් සඳහා පමණක් ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් නිකුත් කර තිබෙන තහනම් නියෝගය ලබන මාර්තු මස 29 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙස අභියාචනාධිකරණය අද (31) නියෝග කළේය.

වයස අවුරුදු 60දී තමන්ව විශ්‍රාම ගැන්වීමට එරෙහිව විශේෂඥ වෛද්‍යවරුන් 176 දෙනෙකු විසින් ගොනුකළ රිට් පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොළ යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය ප්‍රකාශයට පත් කර තිබුණි.

පෙත්සම අද කැඳවනු ලැබු අවස්ථාවේදී වගඋත්තරකරුවන් වෙත නොතීසි යැවීමට පියවර ගන්නා ලෙසත් විනිසුරු මඩුල්ල නියම කර තිබේ.

ඉන් පසුව මාර්තු මස 24, 28 සහ 29 යන දිනවල පෙත්සම් විභාගය පැවැත්වීමට දින නියම කෙරුණි.

ඒ අනුව විනිසුරු මඩුල්ල දැනට නිකුත් කර තිබෙන අතුරු තහනම් නියෝගය මාර්තු මස 29 වනදා දක්වා දීර්ඝ කරන ලෙසත් නියෝග කර තිබුණි.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ විශේෂඥ වෛද්‍යවරුන්ට සාමාන්‍යයෙන් වයස අවුරුදු 63 දක්වා සේවයේ නිරතවීමට හැකියාව තිබූ බවය.

එහෙත් 2022-10-17 දින අමාත්‍ය මණ්ඩලය වෛද්‍යවරුන් වයස අවුරුදු 60 දී විශ්‍රාම ගැන්වීමට තීරණය කළ අතර එම තීරණය නීතියට පටහැනි බව පෙත්සම්කාර වෛද්‍යවරුන් අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබුණි.

More articles

Latest article