30 C
Colombo
සිකුරාදා, අප්‍රේල් 26, 2024

හම්බන්තොට වරාය සම්බන්ධයෙන් චීන සමාගම්වලට දුන් බදු සහන බලරහිත කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සමක්

Must read

පසුගිය යහපාලන රජය සමයේ හම්බන්තොට වරාය චීන සමාගම් දෙකකට බදු දීමේදී ප්‍රදානය කළ බදු සහන නීති විරෝධී යැයි තීන්දු කොට ඒවා බලරහිත කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සමක් සලකා බැලීම සඳහා ජුලි මස 28 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළේය.

නීතිඥ දසුන් නාගස්සේන මහතා විසින් එම පෙත්සම ගොනු කර තිබුණි.

එම පෙත්සම අද අභියාචනාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරිය අධිකරණයට දන්වා සිටියේ, හම්බන්තොට වරාය බදු දීමේ ක්‍රියාවලිය අභියෝගයට ලක් කරමින් මූලික අයිතිවාසිකම් පෙත්සම් 03 ක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබෙන බවත් එම පෙත්සම් මැයි මස 5 වන දා විභාගයට ගැනීමට නියමිතව තිබෙන බවය.

එබැවින් එම පෙත්සම ඉන්පසුව එළැඹෙන දිනයක කැඳවන ලෙස රජයේ නීතිඥවරිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එම ඉල්ලීම පිළිගත් අභියාචනාධිකරණය එම පෙත්සම සලකා බැලීම ජුලි මස 28 වනදා දක්වා කල් තැබීමට තීන්දු කළේය.

පෙත්සම්කාර නීතීඥවරයා කියා සිටින්නේ පසුගිය 2018 වසරේ යහපාලන රජය සමයේ හම්බන්තොට වරාය චීන සමාගම් දෙකකට බදු දීමේදී බදු සහන ලබා දීමට ඉකුත්  රජය කටයුතු කර ඇත්තේ අහෝසි කරන ලද දේශීය ආදායම් පනතක් උපයෝගී කරගෙන බවය.

ඒ අනුව අදාළ බදු සහන ප්‍රදානය නීති විරෝධී බවට තීන්දු කොට එය බලරහිත කරන ලෙස ද පෙත්සම්කරු අධිකරණයෙන් ඉල්ලා තිබේ.

More articles

Latest article