33 C
Colombo
සෙනසුරාදා, මැයි 4, 2024

‘සාරා’ සොයන්න සයින්දමරුදු සිරුරු යළි ගොඩ ගනී

Must read

අම්පාර සයින්දමරුදු ප්‍රදේශයේදී 2019 වසරේ අප්‍රේල් 26 දා මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරවා ගෙන මිය ගිය සහරාන් ඇතුළු අනුගාමිකයන් 16 දෙනාගේ සිරුරු කොටස් නැවත ගොඩ ගෙන ඩී.එන්.ඒ. පරීක්ෂණ සඳහා නියැදි ගැනීම ඊයේ (27) සිදු කෙරිණි.

කටුවාපිටිය දේවස්ථානයට 2019 පාස්කු ඉරු දින මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ මොහොමදු හස්තූන්ගේ බිරිය පුලිස්තිනී මහේන්ද්‍රන් හෙවත් සාරා ජෙස්මින්ගේ සිරුරු කොටස් එහි තිබේ දැයි හඳුනා ගැනීම සඳහා මේ සිරුරු ගොඩ ගනු ලැබිණි.

රහස් පොලිසිය මඟින් කල්මුණේ මහේස්ත්‍රාත් අධිකරණයට කරන ලද ඉල්ලීමකට අනුව අම්පාර මහේස්ත්‍රාත් ලුෂාකා කුමාරි ධර්මකීර්ති මහත්මිය ඉදිරියේ අම්පාර පොදු සුසාන භූමියේ ආරක්ෂිතව වළලා තිබූ මේ දේහයන් නැවත ගොඩ ගනු ලැබීය.

එම සිරුරු කොටස් තුළ සාරා ජෙස්මින්ගේ සිරුරු කොටස් ඇති දැයි ඩී.එන්.ඒ. පරීක්ෂණ මඟින් තහවුරු කර ගැනීම සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කළ බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දුව මහතා පැවසීය.

පාස්කු ප්‍රහාර මාලාවේ ප්‍රධාන සැකකරු වන සහරාන් හසීම් නමැත්තාගේ සොහොයුරා වූ මොහොමඩ් රිල්වාන් නමැත්තා විසින් 2019.04.19 දින රාත්‍රියේ සයින්දමරුදු ප්‍රදේශයේ නිවෙසක මාරාගෙන මැරෙන බෝම්බයක් පුපුරා ගැනීමෙන් ළමයින් ඇතුළු 17 දෙනකු මියගොස් තිබිණි.

පාස්කු ප්‍රහාර මාලාවේ විමර්ශනවලදී සාරා ජෙස්මින් නමැත්තිය සම්බන්ධයෙන් තොරතුරු හෙළි වූ අතර, ඇය මියගොස් ඇති බවට මෙතෙක් තොරතුරු හෙළි වී නැත.

මරාගෙන මැරෙන බෝම්බය පිපිරීමෙන් මියගිය පිරිස අතර සාරා ජෙස්මින් සිටියේ ද යන්න නිෂ්චිත වශයෙන් හඳුනා ගැනීම සඳහා මේ පරීක්ෂණ කිරීමට නියමිතව තිබේ.

අම්පාර පොදු සුසාන භූමිය අවට දැඩි පොලිස් රැකවල් යොදා තිබූ අතර, අම්පාර නගර සභාවට අයත් බැකෝ යන්ත්‍රයක් සහ කම්කරු පිරිසක් මේ සදහා සහාය කර ගෙන තිබූ අතර, ඊයේ සවස් වෙන තුරුම මේ කාර්ය කරනු ලැබීය.

දේහයන් ගොඩ ගෙන එහි නියැදි ගැනීම අධිකරණ වෛද්‍ය විශේෂඥ වෛද්‍ය රුචිර නදීර මහතාගේ අධික්ෂණය යටතේ කරනු ලැබීය. මීට පෙර අවස්ථා දෙකකදී ද පොලිස් පරීක්ෂණ සඳහා නියැදි ගෙන තිබේ.

අම්පාර කොට්ඨාස භාර පොලිස් අධිකාරි ජයන්ත රත්නායක, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සාමන්ත විජේසේකර, අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තුවේ පොලිස් අධිකාරි ජයතිලක, අම්පාර කොට්ඨාස භාර පොලිස් අධිකාරි 1 ප්‍රියදර්ශන හේරත්, ඇඹිලිපිටිය සහකාර පොලිස් අධිකාරි ලසන්ත දඩැල්ලගේ අම්පාර මූලස්ථාන පොලිස් පරීක්ෂක ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රියන්ත බණ්ඩාර යන මහත්වරුන් ද රාජ්‍ය බුද්ධි සේවාවේ නිලධාරීන් ද මේ අවස්ථාවට එක්ව සිටියේය.

මෙලෙස එම මිය ගිය පුද්ගලයන්ගේ සිරුරු කොටස් ගොඩ ගැනුනේ පුලස්තිනී මහේන්ද්‍රන් නොහොත් සාරා ජෙස්මින් එම බෝම්බය පිපිරීමෙන් මිය ගියා ද යන්න සම්බන්ධයෙන් තහවුරු කර ගැනීමට ඩී.එන්.ඒ. පරීක්ෂාව කිරීම සඳහා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

More articles

Latest article