27 C
Colombo
ඉරිදා, මැයි 19, 2024

සරසවි සිසුන් ප්‍රචණ්ඩ ක්‍රියාවල යෙදීම කනගාටුවට කරුණක් – හිටපු ජනපති මහින්ද රාජපක්ෂ

Must read

ඇතැම් සරසවි ශිෂ්‍ය කණ්ඩායම් දේශපාලන පක්ෂවල අතකොළු වී ප්‍රචණ්ඩ ක්‍රියාවල යෙදීම කනගාටුවට කරුණක් බවත් මේ වන විට එම සරසවි දරුවන් තමන්ටම ඉගැන් වූ මහාචාර්යවරුන්ට පහරදීමට තරම් තත්ත්වයකට පත්වීම අදහාගත නොහැකි බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.

මහින්ද රාජපක්ෂ මහතා (13) දින පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණි අවස්ථාවේදී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති ජ්‍යේෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතාට දුරකතන ඇමතුමක් ලබාදෙමින් අතුල සේනාරත්න මහතාට එල්ල කරන ලද ප්‍රහාරය තමන් දැඩි ලෙස හෙළා දකින බවත් එම පුවත අසා තමා කම්පා වූ බවත් ප්‍රකාශ කළේය.

සරසවි සිසුන් සමාජය ගැන අවධියෙන් සිටිමින් ඒ ගැන උනන්දුවෙන් කටයුතු කළ යුතු බුද්ධිමත් කොටසක් බවත් එවැනි පිරිසක් තමන්ට ඉගැන් වූ මහාචාර්යවරයකුට මේ ආකාරයෙන් පහරදීම කිසිවෙකු අනුමත නොකරන බව ද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී සඳහන් කළේය.

තමා සහ පවුලේ සාමාජිකයින් ඉලක්ක කරගෙන මෙම ප්‍රහාරය එල්ල වූ බවත් ඇතැම් සිසුන් අයිස් වැනි මත්ද්‍රව්‍ය ලබා ගෙන තිබුණා ද කියන සාධාරණ සැකය තමාට මතු වූ බවත්, සිසුන් මෙවැනි තත්ත්වයකට පත් වූයේ කෙසේ ද කියා විධිමත් විමර්ශනයක් සිදු කළ යුතු බවත් ජ්‍යේෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා විසින් මෙහිදී පෙන්වා දෙන ලදි.

මෙම සිද්ධියට සම්බන්ධව සියලුම සිසුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බවත් ඒ සඳහා මැදිහත්වන ලෙසත් ජ්‍යේෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් මෙහිදි වැඩිදුරටත් ඉල්ලා සිටියේය.

More articles

Latest article