33 C
Colombo
සෙනසුරාදා, මැයි 4, 2024

ගාලුමුවදොර අරගලකරුවන් පෙත්සම් ඉල්ලා අස්කර ගනී

Must read

ගාලුමුවදොර ගෝඨාගෝ ගම අරගල භූමියෙන් ඉවත්වන ලෙස පොලීසිය කර ඇති නියෝගයක් බලරහිත කරන ලෙස ඉල්ලා අරගලකරුවන් සිව්දෙනෙකු ඉදිරිපත් කර තිබූ රීට් පෙත්සම් හතරක් අද (10) ඔවුන් ඉල්ලා අස්කර ගත්තේය.

මෙම පෙත්සම් අභියාචනාධිකරණය විනිසුරුවන් වන සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනීසිටි එම්. ඒ. සුමන්දිරන්, සාලිය පීරිස් යන ජනාධිපති නීතිඥවරු ඇතුළු නීතිඥවරු අධිකරණයට දන්වා සිටියේ තම සේවාදායකයින් ගාලුමුවදොර ප්‍රදේශයෙන් ඉවත්වීමට තීරණයකර ඇති බවය.

එබැවින් අදාළ පෙත්සම් තවදුරටත් පවත්වාගෙන යාමට ඔවුන්ට අවශ්‍යතාවයක් නොමැති බවත් ඔවුන්ගේ නීත්‍යානුකූල අයිතිවාසිකම්වලට අගතියක් නොවන පරිදි ඒවා ඉල්ලා අස්කරගැනීමට අවසරදෙන ලෙසත් පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරුන් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එම ඉල්ලීම විරුද්ධ නොවන බව අදාළ පෙත්සම නාගරික සංවර්ධන අධිකාරිය වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා සහ පොලිස්පතිවරයා සහ කොටුව පොලිසියේ ස්ථානාධිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන යන මහත්වරු අධිකරණයට දැනුම් දුන්නේය.

සිය නීත්‍යානුකූල අයිතිවාසිකම්වලට අගතියක් නොවන පරිදි මෙම එකඟතාවය පළකරන බව නාගරික සංවර්ධන අධිකාරිය සහ පොලිස්පතිවරයා ඇතුළු වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයට දන්වා සිටියේය.

ඒ අනුව අදාළ පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසරදුන් අභියාචනාධිකරණය ඒවා මුල් අවස්ථාවේදීම ප්‍රතික්ෂේප කිරීමට ද නියෝග කළේය.

අරගලයේ නියුතු පූජ්‍ය මිරහවත්තේ කාශ්‍යප හිමි, ඉරෝෂ් අල්පොන්සු, අසංක අබේරත්න සහ ළහිරු ඇන්ටන් මධුෂාන් ප්‍රනාන්දු යන අය විසින් එම පෙත්සම් ඉදිරිපත් කර තිබුණි.

එහි වගඋත්තරකරුවන් වශයෙන් කොටුව පොලීසියේ ස්ථානාධිපතිවරයා, පොලිස්පතිවරයා, නාගරික සංවර්ධන අධිකාරිය සහ නීතිපතිවරයා නම්කර තිබුණි.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ ඉකුත් සිකුරාදා පස්වරු 05:00ට පෙර ගෝඨාගෝ ගම අරගලභූමියෙන් ඉවත්වන ලෙස පොලීසිය නිවේදනයක් නිකුත්කළ බවය.

එවැනි ඉවත්කිරීමේ නියෝගයක් නිකුත් කිරීමට පොලීසියට බලයක් නොමැති බව පෙන්වා දෙන පෙත්සම්කරුවන් ඒ අනුව එම නියෝගය බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත් මෙම පෙත්සම්වලින් ඉල්ලා තිබුණේය.

More articles

Latest article