26.4 C
Colombo
ඉරිදා, මැයි 19, 2024

ගම්බද ක්‍රීඩකයන්ට උදවු කරන වැඩපිළිවෙළක් හදනවා – යුපුන් අබේකෝන්

Must read

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළේදී මීටර් 100 ධාවන ඉසව්වෙන් ලෝකඩ පදක්කම දිනා ගත් යුපුන් අබේකෝන් ඊයේ අලුයම ශ්‍රී ලංකාවට පැමිණියේය.

ඉතාලියේ සිට ඩුබායි හරහා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්. 226 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි ඔහු ගුවන් තොටුපළ විශේෂ අමුත්තන්ගේ පර්යන්තය වෙත කැඳවා විශේෂ පිළිගැනීමක් සිදු කළ අතර, ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ සභාපති පාලිත ප්‍රනාන්දු, එහි උප සභාපති, බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක, ක්‍රීඩා අමාත්‍යාංශයේ සහකාර අධ්‍යක්ෂ තිලක් අල්පොන්සෝ ඇතුළු විශාල පිරිසක් පැමිණ සිටියහ. එම අවස්ථාවට යුපුන්ගේ මව සුජීවා කොඩිකාර, ඔහුගේ පියාගේ මව එම්.ඒ. කරුණාවතී යන මහත්මීහූ ඇතුලු පිරිසක් ද සහභාගී වූහ.

“මම මේ අවුරුද්දේ විශාල ජයග්‍රහණ රාශියක් අත් කර ගෙන තියෙනවා. දකුණු ආසියාවේ මෙම ඉසව්ව තත්පර 10ට අඩු කාලයකින් නිමාවට පත් කර ඉතිහාසගත වී තිබෙනවා. මම ලෝකයේ 167 වන ක්‍රීඩකයා. ඒ වගේම ලෝකයේ 32 වන රට බවට ශ්‍රී ලංකාව පත්වී තිබෙනවා. බර්මින්හැම් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළේදී මීටර් 100 ධාවන ඉසව්ව සඳහා ලෝකඩ පදක්කම දිනා ගෙන තිබෙනවා. ලෝකයේ පවත්වන සියලුම ධාවන තරග සඳහා සහභාගී වී තියෙනවා. මගේ මේ ජයග්‍රහණ පුහුණුවීම් වල ප්‍රතිඵලයක්. ලෝකයේ පිළිගත් ක්‍රමවේදයකට අනුව පුහුණුවීම් සහ සත්කාර මට ලැබුණා. අවශ්‍ය වෙලාවට උදවු ලැබුණා. මාසයක පමණ කාළයක් ශ්‍රී ලංකාවේ රැඳී සිටිනවා. තව සති දෙකකින් පැවැත්වෙන ආසියානු ක්‍රීඩා ශූරතාවලිය මගේ මීළඟ බලාපොරොත්තුවයි. ඒ සඳහා ශ්‍රී ලංකාවේ සිට පුහුණුවීම් ආරම්භ කරනවා. මම ශ්‍රී ලංකාවේ රැඳී සිටින කාළය තුළ ගම්බද ක්‍රීඩකයන් හට උදවු කිරීමට ද කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා” යුපුන් පැවසීය.

More articles

Latest article