27 C
Colombo
සෙනසුරාදා, අප්‍රේල් 27, 2024

අගනුවර බෞද්ධ ලකුණ ස්ථාපනය කළ ගංගාරාමයේ පොඩි හාමුදුරුවෝ

Must read

මෙයින් එකුන් අසූ වසරකට පෙර දෙසැම්බර් මස 14 වැනි දින උපත ලැබ, කොළඹ හුණුපිටියේ ගංගාරාමයේදී පැවිදි බව ලැබූ ගලබඩ ඤාණිස්සර නාහිමියෝ කා අතරත් ප්‍රසිද්ධ “ගංගාරාමයේ පොඩි හාමුදුරුවෝ” නමිනි. කොළඹ මාලිගාකන්දේ විද්‍යෝදය පිරිවෙණ පිහිටුවා වදාළ බෝධිසත්ව ගුණෝපේත හික්කඩුවේ ශ්‍රී සුමංගල ප්‍රධාන නායක මාහිමියන්ගේ ප්‍රධාන ශිෂ්‍යයා වන දෙවුන්දර සිරි ජිනරතන නායක හිමියන්ගේ ජ්‍යේෂ්ඨ ශිෂ්‍යයා වන දෙවුන්දර වාචිස්සර නායක හිමිගේ ශිෂ්‍යයකු ලෙස ප්‍රව්‍රජ්‍යා භූමියට ඇතුළත් වූ ඤාණිස්සර හිමියෝ, ස්වකීය ආචාර්යවරුන් යටතේ ශ්‍රී ජිනරතන පරිවෙණස්ථානයෙන් මූලික අධ්‍යාපනය කර ශ්‍රී ලංකා විද්‍යෝදය විශ්වවිද්‍යාලයට ඇතුළු වී භද්‍ර යෞවන වියේදීම ශාස්ත්‍රවේදී උපාධිය හිමි කර ගත්හ. අනතුරුව එංගලන්තයට ගොස් වැඩිදුර අධ්‍යාපනය හදාරන අතරතුර සිය ගුරු දේවයන් වහන්සේ වන දෙවුන්දර වාචිස්සර නාහිමිපාණන් වහන්සේ, රෝගාතුරව ඇස් පෙනීම දුර්වල වීම නිසා ගංගාරාමයේ සියලු වගකීම් තරුණ වියේදීම ඤාණිස්සර හිමිගේ කර මතට පැවරිණ. නිර්මාණාත්මක හැකියාවෙන් පිරිපුන් ඤාණිස්සර හිමියෝ තම ආරාමය ආසන්න පැවති බේරේ වැවෙන් ප්‍රයෝජනයක් ගැනීමට කල්පනා කර වැව සංවර්ධනය කරමින් එහි මධ්‍යයේ උදකුක්ඛේප සීමා මාලකයක් නව ආරකින් ගොඩනංවා බොධින් වහන්සේ නමක් ද, බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් ද ස්ථාපනය කර සියලු නිකායිකයන්ට විනය කර්ම කිරීමට ඉඩ සැලසූහ. ඥානේශ්වර පරිවෙණස්ථානයට අමතරව ජිනරතන අභ්‍යාස ආයතනය ඇති කර ඉංග්‍රීසි අධ්‍යාපනයත්, වෘත්තීය අධ්‍යාපනයත් ලබා ගැනීමට ජිනරතන කාර්මික

අධ්‍යාපන ආයතනය බිහි කර දසදහස් සංඛ්‍යාත පිරිසකට ඉංග්‍රීසි හා වෘත්තීය පුහුණුව දෙමින් තුන් කල් දක්නා දැනුමෙන් යුතුව විශිෂ්ට මෙහෙයක් ආරම්භ කළහ. එහි පසුගිය වසර 50 තුළ උගෙනුම ලැබූ දහස් ගණන් සිසු දරුවන් දෙස් විදෙස්හි සේවාවන්හි නියුක්ත වෙති. ගංගාරාමයට අයත්ව තිබූ ජිනාලංකාර මුද්‍රණාලය යළි පණ ගන්වා පැරණි ග්‍රන්ථ රැසක් මුද්‍රණය කරවූ උන්වහන්සේ විශ්ව කෝෂ අඩිපාරේ යමින් “දානය” පිළිබඳ ත්‍රිපිටකාගත උපුටනයන් ගෙනහැර පාමින් කෘති දෙකක්ම උගතුන් ලවා සම්පාදනය කරලූහ. පරිසරය ආරක්‍ෂා කරලීමේ පුරෝගාමී පියවරක් ලෙස බේරේ වැව වටා ගස් පැළ කරමින් ඇරඹි සද් ව්‍යාපාරය භද්‍රාවතී ප්‍රනාන්දු භාරයට අයත් විශාල ඉඩමේ වඳ වී යන තුරුලතා ලක්‍ෂ ගණනින් පැළ කර ජාතියට දායාද කරමින් දශලක්‍ෂ සංඛ්‍යාත පැළ ප්‍රමාණයක් රට පුරාම බෙදා හැරියේ නොමිලේය.

කතරගම වන්දනාවේ යන බැතිමතුනට නවාතැන් ගැනීම මීට දශක තුනකට පමණ පෙර බෙහෙවින් දුෂ්කර විය. අද දකින හෝටල් ද එවක නොවීය. මේ ගැන අවධානය යොමු කර දෙස් විදෙස් දායකයන්ගේ අනුග්‍රහයෙන් සිය ගණනකට නවානැන් ගත හැකි නිවාස සංකීර්ණයක් පිහිටුවා නොමිලේම පහසුකම් සැලැස්වූ ඤාණිස්සර නාහිමියෝ ප්‍රදේශයේ දුප්පත් පන්සල්වලටත්, ජනතාවටත් ප්‍රවාහන පහසුකම් සඳහා ත්‍රිරෝද රථ මෙන්ම ජනතාවට පාපැදි ද දහස් ගණනක් දුන්හ.

අධ්‍යාපන අමාත්‍යාංශයේ උපදේශක තනතුර දරමින් සිටි අවධියේ භික්‍ෂූන් වහන්සේ ප්‍රාචීන අධ්‍යාපනයෙන් බැහැර වන බව වටහාගත් ඤාණිස්සර නාහිමියෝ, ප්‍රාචීන විභාගවලට පෙනී සිටින සිසුන් සඳහා ප්‍රාරම්භ, මධ්‍යම, අවසාන විභාග සඳහා පණ්ඩිතෝපාධිය අවසන් වන තෙක්ම ශිෂ්‍යත්ව ආධාර වැඩසටහනක් ආරම්භ කළේ ද තම දායක භවතුන්ගේ

අනුග්‍රාහකත්වයෙනි. අගනුවර ප්‍රධාන සංස්කෘතික සන්දර්ශනයක් ලෙස නවම් පෙරහර ආරම්භ කළ උන්වහන්සේ අගනුවර වැසියන්ට පමණක් නොව මුළු මහත් ශ්‍රී ලංකාවටම

මහනුවර දළදා පෙරහරට පමණක් නොදෙවනිව පෙරහරක් (නවම්) සංස්කෘතික දායාදයක් ලෙස ලබා දුන්හ. මෙහිදී දෙස් විදෙස් නරඹන්නන්ට සංස්කෘතික සන්දර්ශනයක් පමණක් නොව ඊට සහභාගි වන පාරම්පරික ශිල්පීන් ශක්තිමත් කර ආධාර ලබා දී ඒවාට අගයක් එකතු කළ අතරම අලි ඇතුන්ට, ඇත්ගොව්වන්ට සුදුසු ඇඳුම් ආභරණ සකස් කරවා පෙරහර සංස්කෘතිය නවමු දිශානතියකට යොමු කළහ. කොළඹ නවම් පෙරහර අද දේශ දේශන්තරයේ ප්‍රකට තෙරුවන් වෙනුවෙන් පැවැත්වෙන මහා සංස්කෘතික සංදර්ශනයක් බවට පත්ව ඇත.

ගංගාරාමය සංවර්ධනය කරමින් කෞතුක භාණ්ඩ එක්තැන් කර සංරක්‍ෂණය කර ඒවා දෙස් විදෙස් ජනතාවට දැක බලා ගැනීමට හැකි වන අයුරෙන් කලාගාරයක් බවට පත්කර ඇත. එම පරිශ්‍රයට ඉන්දුනීසියාවේ බොරෝබුදු ස්මාරකයේ අනුරුවක් ද

නිර්මාණය කර තිබේ. ඒ සමඟම විදේශ ධර්ම ප්‍රචාරක කටයුතු පිළිබඳව ද උනන්දුවක් දැක් වූ උන්වහන්සේ අමෙරිකාවේ දෙවන ශ්‍රී ලාංකික බෞද්ධ විහාරය වන නිව්යොර්ක් බෞද්ධ විහාරය ආරම්භ කර කුරුණෑගොඩ පියතිස්ස නාහිමියන්ට භාර කළහ. අද උන්වහන්සේගේ ශිෂ්‍ය තුන් නමක් අමෙරිකවේ විහාර දෙකක හා එංගලන්තයේ බර්මින්හැම් නගරයෙත් ධර්ම දූත සේවාවන්හි නිරත වෙමින් විශිෂ්ට සේවාවක නියුක්ත වෙති. දෙස් විදෙස් භාවනානුයෝගීන් සඳහා අගනුවර ආසන්නයේ කළල්ගොඩ භාවනා මධ්‍යස්ථානයක් ඇරඹූ උන්වහන්සේ විශේෂ අවශ්‍යතා ඇති දරුවන් වෙනුවෙන් ජයවර්ධනපුර රෝහල ආසන්නයේ ආයතනයක් පිහිටු වූහ.

මෙසේ ජාතියේ පිනෙන් පහළ වූ ඤාණිස්සර නාහිමියන් අද රෝගීව එක්තැන්ව සිටීම ජාතියේ අභාග්‍යයකි. එසේ වුවත් උන්වහන්සේගේ විවිධ සේවා තවදුරටත් පවත්වාගෙන

යමින් නවාංගද එකතු කරමින් “හරිත” රූපවාහිනිය ද අරඹා ඒ කටයුතු සිදු කරන වත්මන් ගංගාරාමාධිකාරි ආචාර්ය කිරින්දේ අස්සජි හිමියන් ප්‍රමුඛ ශිෂ්‍ය පිරිස කටයුතු කරනු දැක්ම බොහෝ දෙනාගේ සැනසුමට හේතුවකි. කොළඹ නව කෝරළයේ ප්‍රධාන සංඝ නායක ආචාර්ය ගලබඩ ඤාණිස්සර නාහිමියන්ට කායික මානසික සැනසීමෙන් යුතු සුබ උපන් දිනයක් වේවායි පතන අතරම නිදුක් නීරෝගි සම්පත් සැලසේවායි ආශංසනය කරම්හ.

ආචාර්ය අකුරටියේ නන්ද නාහිමි
මාලිගාකන්දේ විද්‍යෝදය පරිවේණාධ්‍යක්‍ෂ
රුහුණ විශ්වවිද්‍යාලයේ කුලපති

More articles

Latest article