29 C
Colombo
සිකුරාදා, මැයි 17, 2024

ඉන්දියාවේ 74 වැනි ජනරජ දිනය ශ්‍රී ලංකාවේදී සමරයි

Must read

ඉන්දියාවේ 74 වැනි ජනරජ දිනය නිමිත්තෙන් සංවිධානය කළ විශේෂ සැමරුම් උත්සවයක් කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් නිල නිවෙසේදී ඊයේ (26) පැවැත්විණි.

ලෝකයේ විශාලතම ලිඛිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වන ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 1950 වසරේ ජනවාරි මස 26 වැනිදා බලාත්මක කර තිබෙන අතර, පසුගිය 2022 වසරේ සැප්තැම්බර් මාසයේදී ඉන්දියාව ලෝකයේ පස්වන විශාලතම ආර්ථිකය හිමි රාජ්‍යයබවට පත් වීමෙන් අනතුරුව පැවැත්වෙන පළමු ජනරජ දින සැමරුම මෙය බවද ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පැවසීය.

ඉන්දීය සාම සාධක හමුදාවේ මියගිය විරුවන්ට උපහාර දැක්වීමෙන් පසුව, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා විසින් ඉන්දීය මහ කොමසාරිස්වරයාගේ නිවෙස වන ඉන්දියා හවුස්හිදී ඉන්දීය ජාතික ධජය එසවීමෙන් අනතුරුව උත්සවය ආරම්භ වූ අතර, මහ කොමසාරිස්වරයා එහිදී විශේෂ ප්‍රකාශයක් ද සිදු කළේය. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ විශේෂ පණිවුඩයක් මෙහිදී වීඩියෝ තාක්ෂණය ඔස්සේ ප්‍රදර්ශනය කෙරිණි. ඊට අමතරව ශ්‍රී ලංකා නාවික හමුදා සංගීත කණ්ඩායමේ ගීත සහ මහ කොමසාරිස් කාර්යාලයේ සංස්කෘතික අංශය වන ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානය විසින් ඉදිරිපත් කරන ලද සංස්කෘතික වැඩසටහන් මෙම අවස්ථාවට ඇතුළත් විය.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ ‘අසල් වැසියා පළමුව’ ප්‍රතිපත්තියට අනුකූලව ශ්‍රී ලංකාවට විවිධ අයුරින් ඉන්දියාවේ සහාය ලබා දී තිබෙන අතර, මෙම සහාය 2022දී ශ්‍රී ලංකාවේ ජනතාවට දුන් පෙර නොවූ විරූ ඩොලර් බිලියන 4ක ආර්ථික, මූල්‍ය සහ මානුෂීය ආධාරයට අඩංගු බවද ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය මෙහිදී පෙන්වා දුන්නේය.

හම්බන්තොට සහ යාපනයේ පිහිටි ඉන්දීය කොන්සල් ජනරාල් කාර්යාල සහ මහනුවර සහකාර මහ කොමසාරිස් කාර්යාලය ද විශේෂ වැඩසටහන් සංවිධානය කරමින් ඉන්දියාවේ 74 වැනි ජනරජ දින සැමරුමට එක් විය.

More articles

Latest article