28 C
Colombo
ඉරිදා, මැයි 5, 2024

අභිනව අටමස්ථානාධිපති හිමිට ශ්‍රී සන්නස් පත්‍ර පිළිගැන්වීම හෙට

Must read

අනුරාධපුර අභිනව අටමස්ථානාධිපති ශ්‍යාමෝපාලි මහ නිකායේ මල්වතු පාර්ශ්වයේ නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක පල්ලේගම හේමරතන නාහිමිපාණන් වහන්සේ වෙත ශ්‍රී සන්නස් පත්‍ර පිළිගැන්වීමේ පුණ්‍ය මහෝත්සවය ත්‍රෛනිකායික මහ නාහිමිපාණන් වහන්සේලාගේ ප්‍රධානත්වයෙන් ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධි මහ මළුවේදී හෙට (28) සවස 2.30ට පැවැත්වේ.

මෙහිදී අභිනව අටමස්ථානාධිපති නාහිමිපාණන් වහන්සේ වෙත ශ්‍රී සන්නස් පත්‍රය පිළිගැන්වීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සහ විජිනිපත පිළිගැන්වීම අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් සිදු කෙරේ. රාජ්‍ය අනුග්‍රහය ඇතිව පැවැත්වෙන මෙම පුණ්‍ය මහෝත්සවයට දේශපාලන පක්ෂ නායකයන්, රාජ්‍ය තාන්ත්‍රිකයන්, තානාපතිවරුන් සහ පක්ෂ විපක්ෂ මැති ඇමැතිවරුන් ඇතුළු පිරිසක් සහභාගී වීමට නියමිතය.

අටමස්ථානාධිපති ධුරයෙහි වැඩවිසූ අතිපූජ්‍ය පල්ලේගම සිරිනිවාස නායක හිමිපාණන් වහන්සේගේ අපවත්වීමෙන් පසුව අටමස්ථාන කාරක සභාවේ ඒකමතික තීන්දුව අනුව 11 වැනි අටමස්ථානාධිපති හිමි ලෙස අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නා හිමිපාණන් වහන්සේ තේරී පත් වූහ. 1954 ජුනි 15 වනදා මාතලේ දිස්ත්‍රික්කයේ දඹුල්ල පල්ලේගම දී උපත ලැබූ අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නායක හිමිපාණන් වහන්සේ මාතලේ බුලාගල ප්‍රාථමික විද්‍යාලය, පැල්වෙහෙර විද්‍යාලය හා කණ්ඩලම පල්ලේගම ශ්‍රී සිද්ධාර්ථ විද්‍යාලය යන පාසල්වලින් සිය මූලික අධ්‍යාපනය ලැබීය.

1995 වසරේ දී නුවර කලාවිය උප ප්‍රධාන සංඝනායක පදවියට පත් වූ පල්ලේගම හේමරතන නා හිමියන් 1995 සිට අටමස්ථාන කාරක සභාවේ සාමාජිකත්වය දැරීය. 1997 දී රුවන් වැලි මහා සෑයේ විහාරාධිකාරී ධුරයට පත් වූ උන්වහන්සේ එම වර්ෂයේම නුවර කලාවිය ප්‍රධාන සංඝනායක පදවියෙන් ද පිදුම් ලැබූහ. අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාස නා හිමියන්ගේ අනුශාසනා පරිදි අනුරාධපුර මහා විහාර ව්‍යාපෘතිය ආරම්භ කරමින් රුවන්වැලි මහා සෑය සංවර්ධනය වෙනුවෙන් සුවිශේෂී මෙහෙවරක් ඉටු කළ අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නායක හිමිපාණන් වහන්සේ මෙරට ආගමික පුනර්ජීවනය වෙනුවෙන් නිහඬ මෙහෙවරක් සිදු කළ ශ්‍රේෂ්ඨ හිමි නමකි.

More articles

Latest article