33 C
Colombo
සෙනසුරාදා, මැයි 4, 2024

ශ්‍රී ලංකාව හා ජපානය අතර ඇත්තේ ගෞරවනීය මිතුදමක් – ජපාන තානාපති

Must read

ජපානය සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිහිටුවීමේ 70 වැනි සංවත්සරය නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිසුකොෂි හිදෙඅකි මහතා විසින් පණිවිඩයක් නිකුත් කරමින් ශ්‍රී ලංකාවේ ජීවත් වන සිය ළබැඳි මිතුරන් වෙත උණුසුම් සුබපැතුම් එක් කරන බව කියා සිටියේය.

ඔහු එම පණිවිඩයේ වැඩිදුරටත් මෙසේ ද සඳහන් කර තිබේ.

“වර්ෂ 1952 අප්‍රේල් මස 28 වැනි දින ජපානය සහ ශ්‍රී ලංකාව අතර නිල වශයෙන් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ විය. අද දින එහි 70 වැනි සංවත්සරය සනිටුහන් කිරීම නිමිත්තෙන්, ජපාන රජය සහ ජනතාව වෙනුවෙන් මෙම සුන්දර දිවයිනේ ජීවත් වන අපගේ ළබැඳි මිතුරන් වෙත මගේ උණුසුම් සුබපැතුම් පිරිනමනු කැමැත්තෙමි. ඉහතින් සඳහන් කළ දිනයේදීම ක්‍රියාත්මක වූ සැන්ෆ්‍රැන්සිස්කෝ සාම ගිවිසුමේ ප්‍රතිඵලයක් වශයෙන් ජපානය සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ගොඩනැගුණි. මෙම ගිවිසුම මඟින් ප්‍රතිසන්ධානය, සාධාරණත්වය හා ත්‍යාගශීලීභාවයෙන් යුත් ජාතීන්ගේ ප්‍රජාව තුළ ජපානය නැවත ස්ථාපනය වූ අතර, පශ්චාත් යුද සමය තුළ ශීඝ්‍ර ලෙස නැවත රට ගොඩනැඟීමේ මාවත වෙතට ද යොමු විය. එම වසරේම අගෝස්තු මාසයේදී ප්‍රතිසංස්කරණය හා සංවර්ධනය සඳහා වූ අන්තර්ජාතික බැංකුවේ සමාජිකත්වය ගැනීම ප්‍රධාන හැරවුම් ලක්ෂයක් වූ අතර, ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන ගණනක ණය ආධාර ගැනීමට ජපානයට හැකි විය. මෙලෙස විශාල වශයෙන් ගත් ණය මුදල්, ඊළඟ දශක දෙක තුළ ජපානයේ වාර්ෂික දළ දේශීය නිෂ්පාදිතය සියයට 10කට වඩා වර්ධනය වීමට තුඩු දුන් ප්‍රධාන කර්මාන්ත ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරීම වෙනුවෙන් භාවිත කරන ලදී.

“ලෝක ආර්ථික ඉතිහාසයේ පෙර නොවූ විරූ ආකාරයෙන් සිදු වූ වාර්තා ගත වර්ධනය දුටු ‘ඉකොනොමිස්ට්’ සඟරාව විසින් පශ්චාත් යුද සමයේදී ජපානයේ සිදු වූ මෙම සංසිද්ධිය ‘ආර්ථික ආශ්චර්යය’ ලෙස හැඳින්වීය. වර්ෂ 1953දී ‘අධි ණය ගැති’ රටක් ලෙසට වර්ග කරනු ලැබූ ජපානය, වර්ෂ 1984දී ලෝක බැංකුවේ දෙවැනි විශාලතම කොටස් හිමි රට බවට පත් වූ අතර, වර්ෂ 1990 වන විට ව්‍යාපෘති 31ක් සඳහා යොදවන ලද අමෙරිකානු ඩොලර් මිලියන 863ක සම්පූර්ණ ණය මුදල ආපසු ගෙවීම සාර්ථකව නිම කරන ලදී.

ජපානයේ නිල සංවර්ධන ආධාර වැඩසටහනේ (Official Development Assistance (ODA)) මූලය වන්නේ එරට අළු මතින් නැඟී සිටීමේ ඉතිහාසය වන අතර, ශ්‍රී ලංකාවට දෙන ආධාර සම්බන්ධයෙන් ද මෙය සත්‍යයකි. ජපාන නිල සංවර්ධන ආධාර වැඩසටහන එක් අතකින් සමාජ – ආර්ථික යටිතල පහසුකම් සංවර්ධනය හා පෞද්ගලික ආයෝජන සඳහා යොමු වී ඇති අතර, අනෙක් අතින්, ආයෝජන වාතාවරණය වැඩිදියුණු කිරීම මඟින් ආර්ථික වර්ධනය ගුණනය කිරීමට හේතු වේ. ජපාන සමාගම් වැඩි වැඩියෙන් ශ්‍රී ලංකාවට පා තබන අතර, විවිධ ක්ෂේත්‍රවල ව්‍යාපාරික අවස්ථා ගවේෂණය කරයි.

“සීමාසහිත කලම්බු ඩොක්යාඩ් පොදු සමාගම, නොරිටාකේ ලංකා පෝසිලේන් සහ සීමාසහිත වයිකේකේ ලංකා (පුද්ගලික) සමාගම නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ සමාගම් වන අතර, නිපුණතාවයෙන් යුත් රැකියා ප්‍රවර්ධනයට පමණක් නොව, වර්ධනය වන අපනයන හරහා විදේශ විනිමය උපයා ගැනීමට ද දායක වේ. ඉන්දු ශාන්තිකර කලාපයේ හදවතබඳු ස්ථානයක ශ්‍රී ලංකාව පිහිටාඇති අතර, නූතන යුගයේ අවධානය එම කලාපය වෙත යොමු වන විට, සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා වඩා හොඳින් ඔරොත්තු දිය හැකි මෙන්ම, තිරසර ආර්ථික වර්ධනයක් සහතික කරන ගුණාත්මක යටිතල පහසුකම් සංවර්ධනය, ප්‍රවර්ධනය කිරීම කෙරෙහි ජපානයේ නිල සංවර්ධන ආධාර වැඩසටහනේ අවධානය යොමු වී ඇත.

“මෙම නව ප්‍රවණතාවයත් සමඟ, මානව සම්පත් සංවර්ධනය, මූලයේ සවිබල ගැන්වීම මෙන්ම තත්ත්ව කළමනාකරණය සම්බන්ධයෙන් ‘කයිසෙන්’ සහ ‘එස් 5’ වැනි ක්‍රරමවේදයන් ඔස්සේ පෙන්වා ඇති විශේෂ ශක්‍යතාවය සමඟ ජපානය සහ ශ්‍රී ලංකාව අතර සංවර්ධන හවුල්කාරීත්වය බැඳී ඇති බවත්, ඉදිරි වසරවලදී එය වඩා වැඩි වැදගත්කමකින් හා අදාළත්වයකින් යුක්තව වර්ධනය වනු ඇති බවත් මම විශ්වාස කරමි. ශක්තිමත් ආර්ථික සබඳතා අපගේ ද්විපාර්ශ්වික සබඳතා ප්‍රවර්ධනය කිරීමේදී ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කරන අතර, දීර්ඝ කාලයක් පුරාවට පැවතෙන ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදාය තුළ අන්තර්ගත වූ උසස් සාරධර්ම සහ බුදුදහම පිළිබඳ අපගේ පොදු විශ්වාසය තුළින් පැනනඟින ස්ථිරසාර සාමය සඳහා වූ පොදු අපේක්ෂාවන් අපගේ මාර්ගෝපදේශක මූලධර්ම ලෙස ක්‍රියා කරයි.

“වර්ෂ 1951 සැප්තැම්බර් මස 6 වැනි දින සැන්ෆ්‍රැන්සිස්කෝ නගරයේ පිහිටි යුද අනුස්මරණ ඔපෙරා ශාලාවේදී ජේ.ආර්. ජයවර්ධන මහතා විසින් අපගේ සබඳතාවයන්හි උදාර ගමනේ ආරම්භය සනිටුහන් කරන ලදී. “නව අභියෝග හමුවේ අප එක්ව නැඟී සිටින විට අපගේ සබඳතා තවදුරටත් වර්ධනය වනු ඇත. වර්ෂ 2004 දී ඇති වූ ඉන්දියානු සාගර භූමිකම්පාව හා සුනාමි තත්ත්වය, 2011දී නැ‍ඟෙනහිර ජපානයේ ඇති වූ මහා භූමිකම්පාව හා සුනාමිය මෙන්ම, මෑතකදී පැතිරුණු කොවිඩ් – 19 ගෝලීය වසංගතය වැනි අසීරු අවස්ථාවන්ට අපි මුහුණ දී ඇත්තෙමු. අකාෂි යසුෂි මහතාගේ නායකත්වයෙන් වර්ෂ 2002දී ඇති කරන ලද සටන් විරාම ගිවිසුමෙන් පසු ජපානය විසින් සාමය සඳහා පහසුකම් සැලසීමෙහි නියැලීම ද අපගේ රාජ්‍යතාන්ත්‍රික සබඳතා ආරම්භයේ සිටම ගොඩනැඟුණු අන්‍යෝන්‍ය විශ්වාසයේ පැහැදිලි ප්‍රකාශනයකි. සාමය ස්ථාපිත කිරීම, ශ්‍රී ලංකාව පුනුරුත්ථාපනය කිරීම හා ප්‍රතිසංස්කරණය කිරීම සඳහා දැක්වූ දායකත්වය අගයමින් අකාෂි මහතා වර්ෂ 2019දී ‘ශ්‍රී ලංකාරත්න’ සම්මානයෙන් පිදුම් ලැබීය.

“මෙවැනි සංවත්සර අවස්ථාවන් අපගේ සබඳතාවයන්හි විශිෂ්ට ආරම්භකයන්ගෙන් අපට හිමි වූ උරුමය සිහිපත් කිරීමටත්, එහි මූලාරම්භයෙන් අප කෙතරම් දුරස් වී ඇත්ද යන්න පිළිබිඹු කිරීමටත් වටිනා අවස්ථාවන් වේ.”

More articles

Latest article