28 C
Colombo
බ්‍රහස්පතින්දා, මැයි 2, 2024

ජැක්සන් ඇන්තනීට පැය 7ක සැත්කමක්

Must read

අනුරාධපුර තලාව ප්‍රදේශයේදි හදිසි අනතුරකට ලක්ව කොළඹ ජාතික රෝහලට මාරු කර එවූ ප්‍රවීණ නළු ජැක්සන් ඇන්තනී මහතා ඊයේ (04) පැය 7ක ශල්‍යකර්මයකට භාජනය කෙරිණි.

පෙරවරු 9.00ට ඇරඹුණු ශල්‍ය කර්මය අවසන් වනවිට පස්වරු 04 පමණ වූ බව ජාතික රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය. ශල්‍යකර්මය අවසන් වීමෙන් අනතුරුව ඒ මහතා තවමත් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.

අනතුර සිදුවන අවස්ථාවේ වාහනය ධාවනය කරමින් සිට ඇත්තේ ජැක්සන් ඇන්තනී මහතායි. ඒ අවස්ථාවේ ඉදිරියට විසිවී ඇති ඇන්තනී මහතාගේ පපු ප්‍රදේශය සුක්කානමේ තදින් වැදී ඇති අතර ගෙල ප්‍රදේශයේ අස්ථි දෙකකටත් පෙණහලුවලටත් හානි සිදුව තිබිණි.

සිද්ධියෙන් සුළු තුවාල ලැබූ ජැක්සන් ඇන්තනි මහතාගේ සහායක ඉරේෂ් ලක්මාල් අනුරාධපුර ශීක්ෂණ රෝහලට ඇතුළත් කර තිබූ අතර ප්‍රතිකාර ලැබීමෙන් අනතුරුව ඊයේ (04) රෝහලෙන් පිටව ගිය බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

සිද්ධිය වන අවස්ථාවේ ජැක්සන් ඇන්තනී මහතාගේ සොයුරු සමන් ඇන්තනී ද එම රථයේ සිට ඇති අතර ඔහුව ද අනුරාධපුර ශීක්ෂණ රෝහලට ඇතුළත් කෙරිණි. මේ වන විටත් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන සමන් ඇන්තනී සුව අතට පත්වෙමින් සිටින නමුත් ශල්‍ය කර්මයකට භාජනය කිරීමට රෝහල් බලධාරීන් තීරණය කර ඇති හෙයින් ඊට අදාළ කටයුතු සිදුවෙමින් පවතින බවත් රෝහල් ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.

ජැක්සන් ඇන්තනී මහතා මෙම අනතුරට මුහුණ දීමෙන් අනතුරුව සමාජ මාධ්‍ය ඔස්සේ කෙරුණු ප්‍රචාරයන් හා එම ප්‍රචාරයන් සම්බන්ධයෙන් දක්වා තිබූ මහජන ප්‍රතිචාර සම්බන්ධයෙන් ඇන්තනී පවුලේ පිරිස දැඩි සේ කනගාටුවෙයි.

ජැක්සන් ඇන්තනි මහතා ශල්‍ය කර්මයට මුහුණ දෙමින් සිටින අවස්ථාවේ රෝහල් භූමියේ රැඳී සිටි ඔහුගේ පුත් සජිත අනුත්තර සඳහන් කළේ “ මේ වෙලාවේ සියලු දෙනාගේ ප්‍රාර්ථනාවයි ඕනේ. අප්පච්චිට ආදරේ කරන මිනිස්සු හදවතින්ම අප්පච්චිට හොඳක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරයි. අනිත් අය වෙනත් කතා කියයි. මේ වෙලාවේ ඔපරේශන් එක යනවා. ඇත්තටම අපිට හරියට මානසික නිදහසක්වත් තවම නැහැ. “ යනුවෙනි.

ජැක්සන් ඇන්තනී මහතාගේ සහෝදරයෙක් වන සුදත් ඇන්තනී මහතා ද “දැන් අයියා සර්ජරි එකේ ඉන්නේ. සිද්ධිය ගැන අනන්ත විස්තර යනවා. ගොඩාක්ම යන්නේ බොරු. සිද්ධවුණු දේ දන්නේ අයියා තමයි. ඒ නිසා අපි පහුවෙලා අයියාගෙන්ම ඒ ගැන අහමු.“ යි සඳහන් කළේය.

ගල්ගමුව, හත්ථිකුච්චියේ චිත්‍රපට රූගත කිරීමකට සහභාගි වී අනුරාධපුරයේ පිහිටි නවාතැන් ගැනීමේ ස්ථානය වෙත සිය කැබ් රථයෙන් ගමන් කරමින් සිටියදී තලාව මොරගොඩ 07 කණුව ප්‍රදේශයේදී කැබ් රථය වන අලියකුගේ ගැටීම නිසා මෙම අනතුර සිදුවූ අතර සිද්ධියෙන් තුවාල ලැබූවන් කඩිනමින් අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමට ප්‍රදේශවාසින් පියවර ගෙන තිබිණි. ජැක්සන් ඇන්තනී මහතාගේ තත්ත්වය තරමක් අයහපත් වූ හෙයින් ඒ මොහොතේම ඔහුව කොළඹ ජාතික රෝහලේ ස්නායු දැඩි සත්කාර ඒකකයට මාරු කර එවීමට ද අනුරාධපුර රෝහල් බලධාරීන් කටයුතු කර තිබිණි.

ජැක්සන් ඇන්තනි මහතා ගමන් කරමින් සිටි වාහනයේ ගැටුණු අලියා සොයා වනජීවී කණ්ඩායම් තුනක් මොරගොඩ රක්ෂිතයේ මෙහෙයුම් ආරම්භ කර ඇතැයි වනසත්ව අඩවි සහකාර මුණසිංහ මහතා ‘දිනමිණ‘ට පැවැසීය.

සිද්ධිය වූ ස්ථානයේ සිට අලියා ගමන් කළ අඩි පාරි ඔස්සේ මෙහෙයුම ආරම්භ කළ බවත්, සිද්ධිය වූ ස්ථානයේ තිබූ විදුලි වැටේ කණුවක්ද කඩාගෙන අලියා කැළයට ඇතුළු වී ඇති බවත් ඒ මහතා සඳහන් කළේය.

අක්කර හයකට වඩා විශාල භූමි භාගයක පිහිටා ඇති මේ රක්ෂිතයේ මෙම මෙහෙයුම් කෙරෙන අතර එම රක්ෂිතයේ පිහිටි අලින් ජලය බීමට පැමිණෙන වැව් දෙක අසල තවත් කණ්ඩායමක් රඳවාඇතැයිද ඒ මහතා කීවේය. මොරගොඩ, තලාව, උළුක්කුලම වැනි වන අලි නිරන්තරයෙන් රැඳී සිටින ප්‍රදේශවල මෙම මෙහෙයුම් කළ නමුත් තුවාල ලැබූ අලියෙක් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වී නැති නමුත් තවමත් මෙහෙයුම් සිදුකෙරෙමින් පවතින බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

එසේම ජැක්සන් ඇන්තනී මහතා ගමන් කළ රියේ ගැටුණු වන අලියා යැයි පවසමින් සමාජ මාධ්‍ය තුළ සංසරණය වන්නේ ව්‍යාජ ඡායාරූපයක් යැයි පශු වෛද්‍ය චන්දන ජයසිංහ මහතා පවසයි.

එම ඡායාරූපය මීට වසර කීපයකට පෙර අනතුරකට ලක්වූ ඉන්දියාවේ අලියකුගේ ඡායාරූපයක් බවද හෙතෙම වැඩි දුරටත් පැවසීය.

More articles

Latest article