32 C
Colombo
සිකුරාදා, මැයි 10, 2024

නිශාන් මධුෂ්ක ලකුණු 150ක් රැස් කරමින් විශිෂ්ට ඉනිමක

Must read

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පිල වෙනුවෙන් ලකුණු 150ක් රැස් කරමින් විශිෂ්ට ඉනිමක නිරත වූ නිශාන් මධුෂ්ක යළිත් වරක් ක්‍රිකට් තේරීම් කමිටුවේ අවධානය දිනා ගනිමින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නවසීලන්ත සංචාරයට තෝරා ගැනීමට තමා ද සුදුස්සකු බව පෙන්වීය.

එංගලන්ත ලයන්ස් පිල සමඟ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තුන්දින පුහුණු තරගයේදී මධුෂ්ක වාර්තා කළ මේ ඉනිම හේතුවෙන් ප්‍රතිවාදීන්ට පළමු ඉනිමේදී සාර්ථක පිළිතුරක් දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන කණ්ඩායමට හැකි විය.

මේ තරගයේ පළමු ඉනිම වෙනුවෙන් ලයන්ස් පිල ලකුණු 413ක් රැස් කළ අතර, සවස තේ පානයට පෙර ශ්‍රී ලංකා පිල පළමු ඉනිම අත්හිටුවූයේ කඩුලු 9ක් දැවී ලකුණු 355ක් රැස් කර තිබියදීය.

ඊයේ දෙවැනි දිනයට තරගය නතර කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරන ලයන්ස් පිල කඩුලු 8ක් දැවී ලකුණු 164ක් රැස් කර ගෙන සිටි අතර, පළමු ඉනිමේ ලකුණු 58ක වාසිය සමඟින් ලයන්ස් පිල ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන පිලට වඩා ලකුණු 222ක් ඉදිරියෙන් සිටියේය.

ලයන්ස් පළමු ඉනිමේ සාර්ථකම පිතිකරුවූ ඇලෙක්ස් ලීස් ආබාධයක් හේතුවෙන් ලකුණු 27කට පිටියෙන් ඉවත් වූ අතර, ලකුණු 39ක් රැස් කළ ඔලී රොබ්සන් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා විය. පන්දු යැවීමේදී නිමේෂ් විමුක්ති සහ සහන් ආරච්චිගේ කඩුලු 2 බැගින් දවාගත් අතර, දුෂාන් හේමන්ත, ජනිත් ලියනගේ සහ කවිඳු පතිරත්න කඩුල්ල බැගින් දවා ගත්හ.

ඊයේ තරගය ආරම්භ වන විට නොදැවී ලකුණු 56ක් රැස් කර සිටි නිශාන් මධුෂ්ක සිය ඉනිම නොදැවී ලකුණු 150 දක්වා ඉදිරියට රැගෙන ගියේය. මුළු ලකුණු 328දී ඉනිම නතර කරමින් ඔහු පිටියෙන් ඉවත් විය. මේ සඳහා පන්දු 158ක් පමණක් වැය කළ ඔහු හතරේ පහර 24කින් සහ හයේ පහරකින් ඉනිම වර්ණවත් කර ගත්තේය. තේරීම් කමිටුවේ අවධානය යළිත් දිනා ගැනීමට සමත් වූ 23 හැවිරිදි මධුෂ්ක අන්තර් සමාජ තුන්දින තරගාවලියේදී ද කැපී පෙනෙන පිතිකරු බවට පත් වූ අතර, ඔහු එහිදී ත්‍රිත්ව ශතකයක් ද සමඟින් ලකුණු 1000 පසු කර යෑමට ද සමත් විය. මොරටු විද්‍යාලයෙන් ක්‍රීඩාවට පිවිස ඔහු 2019 වසරේ පළමු පෙළ ක්‍රිකට් පිටියට එක් විය.

මුළු ලකුණු 93දී මධුෂ්ක සමඟින් එක් වූ ළහිරු උදාර තෙවැනි කඩුල්ලට ලකුණු 170ක සබඳතාවක් ගොඩනැඟීමට සමත් විය. මුළු ලකුණු 263දී උදාර දැවී යන විට ලකුණු 93ක් රැස් කර තිබුණේ පන්දු 85කදී හතරේ පහර 13ක් සහ හයේ පහර 2ක් සමඟිනි. ඉන් අනතුරුව සහන් ආරච්චිගේ ලකුණු 25ක් රැස් කළ අතර, සෙසු පිතිකරුවන්ට ලකුණු 20 සීමාවට පිවිසීමට ලයන්ස් පන්දු යවන්නන්ගෙන් ඉඩ නොලැබිණි.

අද තරගයේ අවසන් දිනයයි.

ලයන්ස් පළමු ඉනිම – 413/8 (ඕවර 67) ඉනිම අත්හිටුවන ලදි. අලෙක්ස් ලීස් 103, ජැක් හයින්ස් 63, ජොෂ් බෝනන් 58, හසීබ් හමීඩ් 57, ජැමී ස්මිත් 50 (ජනිත් ලියනගේ 47/3, කවිඳු පතිරත්න 40/2, තරිඳු රත්නායක 85/2) සහ දෙවැනි ඉනිම – 164/8 (ඕවර 31) ඔලී රොබ්සන් 39 (නිමේෂ් විමුක්ති 13/2, සහන් ආරච්චිගේ 50/2)

ක්‍රිකට් ආයතන පිලේ පළමු ඉනිම – 355/9 (ඕවර 72) ඉනිම අත්හිටුවන ලදි. නිශාන් මධුෂ්ක නොදැවී 150, ළහිරු උදාර 93 (ජොෂ් ටංග් 22/3, ලියම් පැටර්සන් 80/3, ජැක් කාර්සන් 73/2)

More articles

Latest article