31 C
Colombo
බ්‍රහස්පතින්දා, අප්‍රේල් 25, 2024

අසත්‍ය පුවත්වලට එරෙහිව නාමල්ගෙන් පොලිසියට පැමිණිල්ලක්

Must read

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සහභාගිවෙමින් මල්ලවපොර ක්‍රීඩාවෙන් ලෝකඩ පදක්කමක් දිනූ දැරියත් පුහුණුකරුත් සම්බන්ධ කරමින් තමා ඉලක්ක කොට ගෙන සමාජ මාධ්‍ය ඇතුළු මාධ්‍ය කිහිපයක පළ වූ අසත්‍ය තොරතුරු සම්බන්ධයෙන් විමර්ශනයක් කරන්නැයි හිටපු ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතා තංගල්ල මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක වජිර ඉන්ද්‍රජිත් මහතාට ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් ඊයේ දිනයේම ආරම්භ කර ඇති අතර මේ විමර්ශනය පොලිස් ස්ථානාධිපතිවරයාගේ මූලිකත්වයෙන් යුත් පොලිස් කණ්ඩායමක් විසින් සිදුකරන බවත් පොලිස් තොරතුරු වාර්තා කරයි.

එම මාධ්‍ය වාර්තාවල අඩංගු කරුණුවල සත්‍ය අසත්‍යතාව මුලින්ම අදාල ක්‍රීඩිකාවගෙන් සහ පුහුණුකරුගෙන් ප්‍රකාශ සටහන්කර ගනිමින් පරීක්ෂණය ආරම්භ කිරීමට සැරසෙන බවත් පොලිස් තොරතුරු අනාවරණය කළේය.

පසුව ඒ අයව නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා වෙත රැගෙන පැමිණි අයගෙන්ද ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව අදාළ මාධ්‍ය ආයතනයෙන් ප්‍රකාශ ගැනීමට පොලීසිය සූදානම් වන බව පොලිස් තොරතුරු අනාවරණය කළේය. මේ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දැක්වීමක්ද කිරීමට පොලීසිය සූදානම් වේ.

දේශපාලනඥයකු ලෙස තමන්ට මෙවැනි ව්‍යාජ පුවත් විඳ දරා ගැනීමට හැකියාව ඇතත් එම ජාත්‍යන්තර කීර්තියට පත් ක්‍රීඩිකාවගේ මානසික මට්ටම, පුද්ගල ප්‍රතිරූපයට මේ නිසා හානි සිදු විය හැකි බවත් එහි නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා විසින් පොලිස් ස්ථානාධිපතිවරයාට යොමු කළ පැමිණිල්ලේ සඳහන් වේ.

More articles

Latest article