31 C
Colombo
සෙනසුරාදා, අප්‍රේල් 27, 2024

නැදුන්ගමුවේ රාජාගේ සිරුර සංරක්ෂණයට රජයේ මෙන්ම දළදා මාලිගාවේ දායකත්වයත් නොඅඩුව ලැබුණා – දියඩවන නිලමේ

Must read

නැදුන්ගමුවේ විජය රාජාගේ සිරුර සංරක්ෂණය කිරීමට අදාළව ශ්‍රී දළදා මාලිගාවෙන් නිසි සහයක් නොලැබුණු බව ගම්‍යවන ආකාරයෙන් ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරිය කර තිබෙන ප්‍රකාශය සාවද්‍ය බව දක්වමින් දියඩවන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා සිය අත්සනින් යුතු ලිපියක් ඇය වෙත යොමු කර තිබේ.

මෙම වසරේ මාර්තු මස 7 වැනි දින විජය රාජා හස්තියා මිය යෑමෙන් පසු හස්තියාගේ සිරුර සංරක්ෂණය කිරීම සම්බන්ධයෙන් දළදා මාලිගාවේ දියවඩන නිලමේ ලෙස තමන් ඇතාගේ හිමිකරු සමඟද සාකච්ඡා කර ඒ සඳහා අවශ්‍යය රාජ්‍ය දායකත්වය දළදා මාලිගාවේ දායකත්වය දීමට කටයුතු කරන බව ප්‍රකාශ කළ බවත් ඒ අනුව මේවන විට රුපියල් 15,57983ක මුදලක් දළදා මාලිගාව මඟින් ඇතාගේ සංරක්ෂණ කටයුතු වෙනුවෙන් වැය කර තිබෙන බවත් දෑල බණ්ඩාර මහතා ලිපියෙන් ප්‍රකාශ කර ඇත.

ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ නවාතැන් හා ආහාර වියදම් ද සහිතව ඇතාගේ චර්මය ඉවත් කිරීමේ මූලික කටයුතු වෙනුවෙන් 2022 මාර්තු 10 සහ 16 අතර කාලයේදී දළදා මාලගාවෙන් රුපියල් 375530ක මුදලක් දුන් බවත් පසුව කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරිය විසින් 2022 ජූනි 6 වැනි දින කළ ඉල්ලීමකට අනුව සංරක්ෂ කටයුතු සඳහා රුපියල් 1182453.00 ක මුදලක් ලබා දී තිබෙන බවද දියවඩන නිලමේවරයා පවසයි.

මෙයට අමතරව අදාළ කටයුතු වෙනුවෙන් දළදා මාලිගාව ටොන් 25ක දොඹකරයක් සපයා තිබෙන බවත් ඇතාගේ සිරුර ප්‍රවාහනය සඳහා රෝද 10කින් යුත් විශාල ලොරියක් හා සෙසු වැඩකටයුතු වෙනුවෙන් ජේ.සී.බී යන්ත්‍රයක් දුන් බවත් දෑල බණ්ඩාර මහතා ලිපිය මගින් පෙන්වා දී තිබේ.

හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා නැදුන්ගමුවේ රාජා හස්තියා ජාතික වස්තුවක් ලෙස නම් කර සංරක්ෂණය කිරීමේ කටයුත්ත බුද්ධශාසන, ආගමික කටයුතු හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයට පවරා තිබූ බවත් ඒ අනුව හස්තියාගේ සිරුර සංරක්ෂණය සඳහා යොමු කෙරුණේ ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ සත්ත්ව විද්‍යා අංශය වෙත වුවත් ශ්‍රී දළදා මාලිගාව කෞතුකාගාර දෙපාර්තමේන්තුව මඟින් ඉදිරිපත් කළ ඇස්තමේන්තු මුදල වූ රුපියල් 1182453ක මුදල අප්‍රමාදව වෙන්කර දෙනු ලැබුවේ එම සත්කාර්යයට ඉක සිතින් දායක වීමේ අරමුණ ඇතිව බවද දියවඩන නිලමේවරයා ලිපියේ සඳහන් කර ඇත. එයට අමතරව 2022 අගෝස්තු 18 වැනි දින ඉදිරිපත් කළ රුපියල් 1003047ක අතිරේක ඇස්තමේන්තු මුදලද වෙන්කර දීමට පියවර ගන්නා බව දෑල බණ්ඩාර මහතා පවසයි.

සංරක්ෂණය කරනු ලබන සිරුර තැන්පත් කිරීම සඳහා ශ්‍රී දළදා මාලිගාව සතු ඉඩමක් නොමැති නම් අවශ්‍යය ප්‍රතිපාදන දළදා මාලිගාවෙන් ලබාගෙන ජාතික කෞතුකාගාර පරිශ්‍රයේම සිරුර තැන්පත් කිරීමේ හැකියාව පවතින බව එවකට බුද්ධ ශාසන, ආගමික කටයුතු හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ ලේකම් ධූරය හෙබවූ මහාචාර්ය කපිල ගුණවර්ධන මහතා දැනුම් දී තිබුණු බවද අදාළ ලිපියේ දක්වා ඇත.

ඇතාගේ හිමිකරු සමඟ කෞතුකාගාර දෙපාර්තමේන්තුව සහ තමන් සාකච්ඡා කරනු ලැබූ පරිදි දළදා මාලිගාවේ කරඬුව වැඩම කළ හෙයියන්තුඩුවේ රාජා ඇතාගේ දේහ කොටස් ජාතික කෞතුකාගාරයේ තැන්පත් කළ ආකාරයට නැදුන්ගමුවේ රාජා හස්තියාද එහි තැන්පත් කිරීමට තීරණය වූ බවද ලිපිය මගින් දියවඩන නිලමේවරයා සිහිපත් කර තිබේ.

හස්තියාගේ හිමිකරු දළදා මාලිගාව ඇතුළු අදාළ පාර්ශ්ව සාකච්ඡා කර වඩාත් උචිත වැඩපිළිවෙළ යොදා ගැනීමට ප්‍රථම ජාතික කෞතුකාගාර පරිශ්‍රයේම සංරක්ෂණය කරනු ලබන සිරුර තැන්පත් කිරීමේ අරමුණක් අධ්‍යක්ෂ ජනරාල්වරියට පැවතියේ නම් එය මාධ්‍ය මඟින් නොව ඍජුව දළදා මාලිගාව හා සාකච්ඡා කරන්නට තිබූ බව පෙන්වා දෙන දියවඩන නිලමේවරයා එය වඩා සදාචාරසම්පන්න වනු ඇති බවද පෙන්වා දෙයි.

අධ්‍යක්ෂ ජනරාල්වරියගේ ප්‍රකාශය දළදා මාලිගාවේ ප්‍රතිරූපයට හානිදායක බවද දෑළ බණ්ඩාර මහතා ලිපියේ සඳහන් කර තිබේ.

More articles

Latest article