27 C
Colombo
බ්‍රහස්පතින්දා, මැයි 16, 2024

ජනපතිගෙන් ආණ්ඩු පක්ෂයේ නායකයින්ට ලිපියක්

Must read

පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ නියෝජනයෙන් සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ජනාධිපතිවරයා එකඟත්වය පළකර තිබේ.

ඔහු ඒ බව පවසා ඇත්තේ, ආණ්ඩුවේ පක්ෂ නායකයින් වෙත ලිපියක් යොමු කරමිනි.

එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ, අප්‍රේල් මස 29 වන දින පෙ.ව 10.30ට අදාළ කාරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති මන්දිරයට පැමිණෙන ලෙසය.

දැනට ආණ්ඩු පක්ෂය නියෝජනය කරන පක්ෂ නායකයින්, 2020 මහ මැතිවරණයෙන් පසු පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂය නියෝජනය කළ හා මේ වනවිට ස්වාධීන කණ්ඩායම් වශයෙන් කටයුතු කරන පක්ෂ නායකයින් වෙත ජනාධිපතිවරයා විසින් එම ආරාධනය සිදුකර ඇත.

රටේ වර්තමානයේ පවතින සමාජ හා ආර්ථික අර්බුදය සඳහා විසඳුමක් වශයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂ සහභාගීත්වයෙන් සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවන ලෙස අතිපූජ්‍ය ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්වහන්සේලා මෙන්ම අතිඋතුම් කාදිනල් හිමියන් ඇතුළු සර්ව ආගමික නායකයින් ද දේශපාලන පක්ෂ හා පොදුජන සංවිධාන රාශියක් විසින් ද සිදුකළ ඉල්ලීම් සලකා බැලීමෙන් පසු ජනාධිපතිවරයා විසින් එම තීරණය ගෙන ඇත.

ඒ අනුව වර්තමාන අග්‍රාමාත්‍යවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වීමෙන් අනතුරුව පිහිටුවීමට යෝජිත එකී සර්වපාක්ෂික ආණ්ඩුවේ ව්‍යුහය, ක්‍රියාත්මක වියයුතු කාල සීමාව, එහි වගකීම් ලබාදෙන පුද්ගලයින් කවුරුන්ද යන්න සම්බන්ධයෙන් සාකච්ඡා කොට තීරණය කළ යුතු බව ද ජනාධිපතිවරයා විසින් දැනුම්දී තිබේ.

More articles

Latest article