28 C
Colombo
සෙනසුරාදා, අප්‍රේල් 27, 2024

ජනපති ගාලුමුවදොර අරගලකරුවන් හමු වෙයි

Must read

අරගලකරුවන් සහ තරුණ පරපුර සමඟ විනිවිදභාවයෙන් කටයුතු කිරීමට තමා සූදානම් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ගාලුමුවදොර අරගලකරුවන්ගේ පාර්ශ්ව කිහිපයක් හා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (05) ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණු අවස්ථාවේදී ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

දැන් අපට ඇත්තේ ආර්ථික අරගලය ජය ගැනීම බව කරුණු සහිතව පෙන්වා දුන් වික්‍රමසිංහ මහතා අරගල භූමියේ සිටින සියලු තරුණ තරුණියන් එම ආර්ථික අරගලයේ ජයග්‍රහණය සඳහා සෑම අයුරකින්ම දායක කර ගැනීමට තමන් අපේක්ෂා කරන බවද කියා සිටියේය.

ප්‍රජාතන්ත්‍රවාදි නොවන දේශපාලනයට සහ ප්‍රචණ්ඩත්වයට තමන් විරුද්ධ බවත් මර්දනය ගැන කථා කරන පිරිස් විශ්වවිද්‍යාල ක්‍රියාවලිය තුළින්ම නවකවදය නවතා යහපත් සමාජ ප්‍රජාතන්ත්‍රවාදයක් වෙනුවෙන් ඉදිරිපත් විය යුතු බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය.

අපේ විශ්වවිද්‍යාල පද්ධතියම කඩා වැටීමට එක් ප්‍රධාන හේතුවක් වන්නේ නවකවදය බවත් වර්ජනද සෑම කාලයකම පැවතුන බවත් පෙන්වා දුන් ජනාධිපතිවරයා වර්ජන මතින්ම රටක් ඉදිරියට ගෙන යා නොහැකි බවත්, සාකච්ඡා තුළින් මැදිහත් තැනකට පැමිණ ඉල්ලීම් දිනා ගන්නවා සේම රට වෙනුවෙන් කළ යුතු කාර්යයන් ඉටු කළ යුතු බවත් පැවසීය.

සියලු අරගලකරුවන් නියෝජනය කරමින් යම් ප්‍රධාන කණ්ඩායමක් සකසා ගන්නා ලෙස ඉල්ලා සිටි ජනාධිපති වික්‍රමසිංහ මහතා එම කණ්ඩායමට සියලු ආගම් නියෝජනය සහ කාන්තා නියෝජනය ද අත්‍යවශ්‍ය බව සඳහන් කළේය.

තමන් විසින් තරුණයන්ගේ අවශ්‍යතා රාජ්‍යයේද අනුග්‍රහය සහිතව පවත්වාගෙන යෑම සඳහා කොළඹ කොටුව පාවෙන වෙළෙඳසල සහ තවත් ස්ථාන කිහිපයක් යෝජනා කිරීමට කැමති බවත්, ඒ වෙනුවෙන් වන විධිමත් යෝජනාවලියක් බහුතර අරගලකරුවන්ගේ මැදිහත්වීමෙන් සකස් කර ඉදිරිපත් කරන ලෙසත් රනිල් වික්‍රමසිංහ මහතා ඉල්ලා සිටියේය.

එම ක්‍රියාවලිය තුළ අධ්‍යාපනය සඳහා වූ පුස්තකාල, දේශපාලන අධ්‍යයනය සඳහා වන පහසුකම්, සංගීතය, චිත්‍ර කලාව, වේදිකා නාට්‍ය හා අනෙකුත් තරුණ කුසලතා සහ අවශ්‍යතා ඉටු කර ගත හැකි එක් මධ්‍යස්ථානයක් බවට එය පත් කර ගත යුතු යැයි ජනාධිපතිවරයා සඳහන් කළේය.

හදිසි නීතිය හැකි ඉක්මණින් ඉවත් කිරීම රටේ ආර්ථික සහ සමාජ ස්ථායීතාවට වැදගත් වනවා සේම පවතින තත්ත්වයන් හේතුවෙන් රටේ පාලනයටද එහි බලපෑමක් පවතින බවත් ජනාධිපතිවරයා කීය.

අද වන විට LGBT ප්‍රජාව සම්බන්ධයෙන් හදිසි නීතිය මත ගැටලුකාරි තත්ත්වයක් පැන නඟින බවට තමන් වෙත වාර්තා වී ඇති බවත් එය ඉවත් කිරීම සඳහා අවශ්‍ය නීති පසුබිම සකස් කරන ලෙස තමන් විසින් නීතිපතිවරයාව දැනුම්වත් කොට ඇති බවත් පැවසීය. තවද ජන සභා ආරම්භ කිරීම සම්බන්ධයෙන් මේ වන විටත් පාර්ශ්ව කිහිපයකින්ම තමන් වෙත යෝජනා ඉදිරිපත් වී ඇති බව පෙන්වා දුන් ජනාධිපති වික්‍රමසිංහ මහතා ලබන සතියේදී එම වැඩසටහන නියමිත පාර්ශ්ව සමඟ සාකච්ඡා කරන බව පැවසීය.

අරගලකරුවන් නියෝජනය කරමින් පැමිණි පාර්ශ්ව ඉල්ලා සිටියේ සාමකාමි පොදුජන අරගලයට සම්බන්ධ අරගලකරුවන් සහ ක්‍රියාකාරිකයන් අනීතිකව හෝ අත්තනෝමතිකව වන අත්අඩංගුවට ගැනීම් නැවැත්වීමට අවශ්‍ය කටයුතු කරන ලෙසයි. මේ වන විටත් කිසිදු වරදක් නොකොට භූමියේ රැඳී සිටින බොහෝ අරගලකරුවන් ඉන් පිටතට යෑමට බියව සිටින්නේ අත්අඩංගුවට ගැනීම් වන නිසාවෙන් බවද ඔවුහු පෙන්වා දුන්හ. අරගලයේ අපහසුම කොටස දැන් ඇරඹී ඇති බව සඳහන් කළ අරගලකරුවන් රටේ සමස්ත ජනතාවගේම චින්තන විප්ලවයක් ඇති කර ගත යුතු බවද සඳහන් කළහ.

තරුණ පරම්පරාව අසීමිත කැප වීමකින් රටට මහත් බලාපොරොත්තුවක් ඇති කර ගැනීම උදෙසා මේ අරගලය කළ බවත්, එහි සාධනීය ප්‍රතිඵලයක් ව්‍යවස්ථානුකූලව ඇති කර ගැනීම තමන්ගේ අපේක්ෂාව බවත් ඔවුහු පෙන්වා දුන්හ. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, සමාජ ප්‍රතිසංස්කරණ ඇතුළු රට විධිමත් හා ස්ථායි තත්ත්වයකට පත් කර ගත යුතු කඩිනම් ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක් ඇති කළ යුතු බවටද යෝජනා කළහ.

රටේ උන්නතිය අපේක්ෂා කරන්නන්ගේ අරගලයේ ඉදිරිය පවතින්නේ සාකච්ඡාවෙන්, සංවාදයෙන් කරන එකඟතාවලින් බවත් ඒ වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදි ක්‍රියාමාර්ග පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් කෙරෙනු ඇති බව තම විශ්වාසය බවත් ඔවුහු සඳහන් කළහ. අරගලය මතින් මහා සුවිශාල ජයග්‍රහණ ගණනාවක් රටටත්, රටේ මහජනතාවටත් අත් කර දීමට තරුණ තරුණියන්ට හැකි වීම තම පරම්පරාවේ සුවිශේෂි ජයග්‍රහණයක් බව අරගලකරුවෝ කීහ. සමස්ත ලෝකයේම ප්‍රජාතන්ත්‍රවාදය අගයන පිරිස මේ අරගලය ඇගයීමට ලක් කරන බවත්, ඒ මතින් ලෝක අවධානය අප රටට හිමි වූ බවත් පැවසූහ.

More articles

Latest article