32 C
Colombo
සඳුදා, මැයි 6, 2024

ජනපති අද COP-27 සමුළුව අමතයි

Must read

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (07) එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර COP-27 සමුළුව ඇමතීමට නියමිතය. ඊජිප්තුවේ ෂාම් එල් ෂීක් ( Sharm El Sheikh) හිදී මෙම මස 6 සිට 18 දක්වා පැවැත්වෙන COP-27 සමුළුවට සහභාගි වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (06) අලුයම දිවයිනෙන් පිටත්ව ගියේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 07 සහ 08 දෙදින මෙම සමුළුවට සහභාගි වීමට නියමිතය.

මෙයට සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෝලීය ආහාර සුරක්ෂිතතා සමුළුවට සහ ලෝක නායකයින්ගේ සමුළුවට ද සහභාගි වනු ඇත.

පැරිස් ගිවිසුම සහ සම්මුතිය යටතේ එකඟ වූ පරිදි ලෝකයේ සාමූහික දේශගුණික අරමුණු සාක්ෂාත් කර ගැනීමට ක්‍රියාමාර්ග ගැනීම සඳහා COP 27 සමුළුව රැස් වේ. පසුගිය වසරේ ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ (Glasgow) හි පැවැති COP 26 හි සමුළුවේදී සාකච්ඡා කළ සම්මුතීන් පැරිස් ගිවිසුමට අනුකූලව ඉටු කර ගැනීමට හා ඉදිරි වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතය.

පරිසර අමාත්‍ය නසීර් අහමඩ්, දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන, ජනාධිපති ජාත්‍යන්තර කටයුතු අධ්‍යක්ෂ දිනුක් කොළඹගේ සහ ජනාධිපති පෞද්ගලික ලේකම් සැන්ඩ්‍රා පෙරේරා ඇතුළු මහත්ම මහත්මීහු මෙම ජාත්‍යන්තර සමුළුවට සහභාගි වීම සඳහා ජනාධිපතිවරයා සමඟ පිටත්ව ගියහ.

ඔන්ලයින් ක්‍රමයට පහසුකම් සලසා ඇති බැවින් ජනාධිපති මාධ්‍ය අංශයේ කිසිදු මාධ්‍ය නිලධාරියෙකු, ඡායාරූප ශිල්පියෙකු හෝ වීඩියෝ ශිල්පියෙකු මෙම සමුළුවට සහභාගි නොවන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි. ජනාධිපතිවරයා මෙම 10දා යළි දිවයිනට පැමිණීමට නියමිතය.

More articles

Latest article