28 C
Colombo
ඉරිදා, මැයි 5, 2024

සිංගප්පූරු-ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම කඩිනමින් – ජනපති

Must read

සිංගප්පූරු ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම ඉතා කෙටි කලක් තුළ ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය. සිංගප්පූරු ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම ක්‍රියාත්මක කිරීම පිළිබඳ ඊයේ (16) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ උපදෙස් දෙනු ලැබීය.

මේ සම්බන්ධයෙන් පවතින ගැටලු පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු අතර, පවතින සියලු ගැටලු සඳහා කඩිනම් විසඳුම් දීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය සැප්තැම්බර් 27 දා ටෝකියෝ නුවරදී සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී සියෙන් ලූං මහතා හමු වූ අවස්ථාවේද සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම ක්‍රියාත්මක කිරීම තම රජයේ ප්‍රමුඛ අරමුණක් බව ජනාධිපතිවරයා අවධාරණය කර තිබිණි.

මේ සඳහා ජනාධිපති කාර්යාලයේ ජාත්‍යන්තර වෙළෙඳ කාර්යාලයක් ස්ථාපිත කරන බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයා එහිදී දැනුම්වත් කළේය.

සිංගප්පූරුව යළිත් වරක් ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට අපේක්ෂා කරන බව සිංගප්පූරු අගමැතිවරයා එහිදී සඳහන් කළේය.

මේ ගිවිසුම සාමාන්‍ය භාණ්ඩ වෙළෙඳ ගිවිසුමක් නොවන අතර මෙය අප රට අත්සන් තබන ප්‍රථම විස්තීර්ණ ගිවිසුම වේ. මේ ගිවිසුම මඟින් දෙරට අතර ආයෝජන, අන්තර්ජාල වෙළෙඳාම, රේගු සබඳතා වෙළෙඳ පහසුකම් සහ සේවා පිළිබඳ බද්ධ වේ.

2018 මැයි වසරේ යහපාලන ආණ්ඩු සමයේදී සිංගප්පූරු ශ්‍රී ලංකා ගිවිසුම අත්සන් තැබිණි.

මේ ගිවිසුම සම්බන්ධයෙන් වූ සාකච්ඡාවල ප්‍රගතිය පිළිබඳ පළමුවෙන්ම 2017 දී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලද අතුරු වාර්තාවක් මඟින් කැබිනට් මණ්ඩලය දැනුම්වත් කරනු ලැබිණි. මේ ගිවිසුම අදාළ වන ක්ෂේත්‍ර මොනවාද, ගිවිසුම හරහා කොතරම් දුරකට වෙළෙඳාම ලිහිල් කෙරෙනවාද, අදාළ පාර්ශ්ව සමඟ වන තොරතුරු විමසීම් හා සාකච්ඡාවල තත්ත්වය කෙසේද යන තොරතුරු මේ වාර්තාවේ අන්තර්ගතව තිබිණි. 2017 දෙසැම්බර් මස 21දා ගිවිසුමේ කෙටුම්පත ඇතුළත් වන අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඇමැති මලික් සමරවික්‍රම මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කෙරිණි. මේ කෙටුම්පත ඉදිරිපත් කිරීමෙන් පසු එවකට ජනාධිපතිවරයා සහ කැබිනට් ඇමැතිවරු 14 දෙනෙක් ජනවාරි මස 9 වන දින මේ පිළිබඳ ධනාත්මක ප්‍රතිචාර දක්වා තිබේ. මේ ප්‍රතිචාරවලට අනුව කෙටුම්පතේ සංශෝධන කරන ලද අතර, එකී සංශෝධිත ගිවිසුම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කෙරිණි. ජනවාරි මස 16 වැනි දින පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී එකී සංශෝධිත ඇතුළත් ගිවිසුමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ අතර, ජනවාරි 23 වන දින සිංගප්පූරු අගමැතිවරයාගේ ලංකා සංචාරය අතරතුර ගිවිසුමට අත්සන් කිරීමට අමාත්‍ය මණ්ඩල අවසරය දුන්නේය.

එම ගිවිසුම සම්බන්ධයෙන් එවකට සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳාම පිළිබඳ ඇමැති මලික් සමරවික්‍රම මහතා පාර්ලිමේන්තුව අමතමින් සිංගප්පූරු ශ්‍රී ලංකා වෙළෙඳ ගිවිසුම, ද්විපාර්ශ්වීය වෙළෙඳාම සහ ආයෝජන සඳහා නීතිමය බැඳීමක් සහ නිශ්චිත රාමුවක් සපයන අතර, මීට පෙර රටවල් දෙක අතර නොපැවති ආකාරයේ එකක් බව සඳහන් කළේය. මේ ගිවිසුම හරහා අප රටට අවශ්‍ය කරන විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීම ඉලක්ක කර ඇති අතර, සිංගප්පූරුව හා වෙළෙඳ ගිවිසුමකට එළඹීමේ මූලික අරමුණ විදේශ ආයෝජන වැඩි කර ගැනීම සහ ඒ හරහා ගෝලීය වෙළෙඳපොළ හා ඇති සම්බන්ධතා වැඩි කර ගැනීම බවත් පෙන්වා දුන්නේය.

More articles

Latest article