25 C
Colombo
ඉරිදා, මැයි 19, 2024

සැලසුම්සහගත ගමනකට මුල් තැන දීම මෙවර අය-වැයේ විශේෂත්වයයි – අගමැති

Must read

ඒකාබද්ධවූත්, සැලසුම් සහගතවූත්, කළමනාකරණ ගමන් මාර්ගයකට මුල් තැන දීම මෙවර 2023 අය වැයේ විශේෂත්වය බව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (16) පැවසීය.

අය වැය දෙවැනි වර කියවීමේ විවාදයේදී අදහස් දක්වමින් අගමැතිවරයා මේ බව සඳහන් කළේය. පවතින රජය ඒකාබද්ධ වූ සභාග ආණ්ඩුවක් බවත්, පොදුජන පෙරමුණ, එ.ජා.ප, ම.එ.පෙ, ශ්‍රීලනිප කොටස්, ඊපීඩීපී ආදි පක්ෂ රැසක් එක්වී සභාග ආණ්ඩුවක් ගොඩනැඟුවේ රට ගොඩගැනීමට බවත් අගමැතිවරයා කියා සිටියේය. එම අරමුණට යෑමේ වැඩපිළිවෙළට බාධා නොකර අය වැයට සහාය දෙන ලෙස සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටින බව අගමැතිවරයා පැවසීය. පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් පවත්වන ලෙස ආචාර්ය හර්ෂද සිල්වා මහතා ප්‍රකාශ කළද ශ්‍රී ලංකා ව්‍යවස්ථාව අනුව වාර මැද මහ මැතිවරණයක් පැවැත්වීමට නොහැකි බව ගුණවර්ධන මහතා අවධාරණය කළේය. එක්සත් ජනපද අමෙරිකාවේ සෙනෙට් මණ්ඩලයේ නියෝජිතයන්ගෙන් තුනෙන් එකක් වාර මැද අතුරු මැතිවරණවලින් පත් කර ගත හැකි වුවත් ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාවේ එවැන්නක් නැති බව අගමැතිවරයා පැවසීය. මේ නිසා වගකීමක් නැති ප්‍රකාශ කර ජනතාව නොමඟ නොයවන ලෙස අගමැතිවරයා ඉල්ලා සිටියේය.

ජනාධිපතිවරයා මුදල් ඇමැතිවරයා ලෙස අය වැය ඉදිරිපත් කරන අවස්ථාව, රට ලොකුම අර්බුදයක සිටින අවධියක් බව අමතක නොකරන ලෙස පැවසූ අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා, සමාජ – ආර්ථික -දේශපාලන ක්ෂේත්‍ර ආවරණය කරමින් ජනාධිපතිවරයා ඉතිහාසයේ වැදගත්ම අය වැයක් ඉදිරිපත් කිරීමේ මාවතට පිවිස ඇතැයි සඳහන් කළේය. රාජ්‍ය සංස්ථා 150ක් පමණ සිය වාර්තා තවමත් පාර්ලිමේන්තුවට එවා නැති බවද අගමැතිවරයා කියා සිටියේය.

රජයට අයත් භූමි භාගයන් ගැන යළි සොයා බැලීමට ගත් තීරණය, එඩිතර පියවරක් බවද වගා කළ හැකි බිම් වගාව සඳහා යෙදවිය යුතු බවත් කාන්තාවන් හා තරුණයන් සවිබල ගැන්විය යුතු බවත් අගමැතිවරයා ප්‍රකාශ කළේය.

More articles

Latest article