26 C
Colombo
සිකුරාදා, මැයි 17, 2024

ජනතාව බලය දුන්නේ මේ රට අර්බුදයක තබා ඉවත් වී යන්න නොවෙයි – අගමැති

Must read

ආර්ථික අර්බුදය විසඳීමට කෙටි හා දිගු කාලීන ආර්ථික කළමනාකරණ ප්‍රතිපත්තියක් ආණ්ඩුව සතු හෙයින් කිසි අවස්ථාවක එම අභියෝගයෙන් පැන නොයන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

ප්‍රාදේශීය සභා සභාපතිවරු,නගරාධිපතිවරු සහ දිස්ත්‍රික් නායකයන් සමඟ අරලියගහ මන්දිරයේ පෙරේදා (27) පැවැති හමුවේදී අගමැතිවරයා මේ බව කියා සිටියේය.

විදේශ ආධාර ගෙන හෝ අප රට ගොඩ නඟන්න අවශ්‍ය වැඩපිළිවෙළ ඉටු කරනවායැයි ද අගමැතිවරයා මෙහිදී අවධාරණය කළේය.

ජනාධිපතිවරයා කිසිවිටක මට ඉල්ලා අස්වෙන්න කිව්වෙත් නැහැ. කියන්නෙත් නැහැ කියා මට විශ්වාස යැයි ද අගමැති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

අගමැති මහින්ද රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු නැතැයි ප්‍රාදේශීය සභා සභාපතිවරු හා නගරාධිපතිවරු මෙහිදී ඒකමතික යෝජනාවක් සම්මත කළහ.

අගමැතිවරයා වැඩිදුරටත් මෙසේද කීය.

මං හිතන්නේ අපට පසුගිය කාලයේ එච්චර වේලාවක් හම්බ වුණේ නෑ මුණගැහිලා සුහදව සාකච්ඡා කරන්න. නමුත් අද අපට පුළුවන්කම තිබෙනවා මුණගැසී රටත් ජනතාවත් හමුවේ තිබෙන ප්‍රශ්න පිළිබඳව සාකච්ජා කරන්න. සමහරුන්ගේ යෝජනාත් ආවා. විසඳුම් සොයන ක්‍රියාමාර්ග ගැන කතා කරන්න.

නමුත් අද රටේ තිබෙන්නේ ඊට හාත්පසින්ම වෙනස් තත්ත්වයක් කියා තමුන්නාන්සේලා දන්නවා. ආර්ථික අර්බුදයකට මුහුණ දෙන්න අපට සිදු වෙලා තිබෙනවා එක පැත්තකින්.

ඉතිහාසයේ පටන් ආ විවිධ හේතු මත මේ තත්ත්වය නිර්මාණය වුණා. ජනතාව මේ අර්බුදයෙන් මුදා ගැනීමේ වගකීම වර්තමානයේ අපට තිබෙනවා. ඒ නිසා අප ඒ වෙනුවෙන් එකාවන්ව වැඩ කළ යුතුයි කියා මම විශ්වාස කරනවා.

මේ ආණ්ඩුව භාරගන්නකොට හැම අතින්ම බිඳ වැටුණු රටක් තමයි අපි භාරගත්තේ. ඒ වෙලාවේ ආර්ථිකය විතරක් නෙමෙයි ජාතික ආරක්ෂාව ගැනවත් එදා ජනතාවට විශ්වාසයක් තිබුණේ නැහැ. වැඩිපුරම ජනතාව ඉල්ලුවේ අන්තවාදී හෝ ත්‍රස්තවාදී බෝම්බ පුපුරන්නේ නැති රටක් හදලා දෙන්න කියලා. මම හිතන්නේ අද වන විට අපි ඒ ඉල්ලීම අකුරටම ඉටු කර තිබෙනවා.

මුඩු බිමක් වෙච්ච රටක් නැවත සංවර්ධන මාවතට ගෙන එන්න විශාල වැඩ කොටසක් අපි අතින් සිදුවුණා කියන එක තමුන්නාන්සේලා පිළිගන්නවා ඇති.

ඔය අතරේ තමයි අපට පහුගිය කාලේ කොවිඩ් වසංගතයට මුහුණ දෙන්න වුණේ. මුළු ලෝකෙම මේ වගේ වසංගතයක් ගැන ඊට කලින් දැනගෙන හිටියේ නැහැ කියා මම හිතනවා. මේ අභියෝගය අපටත් අලුත්. එහෙත් අපි ඔබ සියලු දෙනාගේ සහාය ඇතිව ඊට සාර්ථකව මුහුණ දුන්නු බව ඔබ දන්නවා. දියුණු රටවල ලක්ෂ ගණනින් මියැ‍දෙද්දි, අපේ රටේ කොව්ඩ් මරණ ප්‍රතිශතය ඉතා අඩු අගක තියාගන්න අපට පුළුවන් වුණා.

ඔබට මතක ඇති වෛද්‍යවරුන්, හෙද හෙදියන්, සෞඛ්‍ය කාර්ය මණ්ඩල, හමුදාව ඇතුළු ආරක්ෂක අංශ ඒ වෙනුවෙන් වෙහෙසෙන කොට ඔබත් ඊට විශාල දායකත්වයක් දුන්නු බව. සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපඳිමින් ජනතාවත් ඊට සහාය වුණා.මේක සම්පූර්ණයෙන්ම රටෙන් තුරන් නොවුණත්, මේ කොවිඩ් වසංගතයෙන් මුළු රට වැසියන් ආරක්ෂා කර ගන්න රජයක් විදියට අපටත් පුළුවන් වුණා.

එහෙත් එදා ජනතාව අතර තිබුණු සටන් පාඨය නෙමෙයි අද තිබෙන්නේ. එදා එන්නත් කෝ කියා ඇහුවා. හොඳ එක නැද්ද ඇහුවා, එක්තරා කොටසකට විතරද දෙන්නෙ ඇහුවා. ඒකත් දුන්නම අන්තිමට එන්නත විදගන්න එන්නේ නැතිව එන්නත් ඉතිරි වෙන තැනට රට පත්වුණා.

හැබැයි ගෙවල්වල හිරවෙලා හිටපු ජනතාව නැවත දෛනික ජීවිතයට ගෙන ඒමේ අභියෝගය අපි ජයගත්තා. අද ඒ අයගෙන් ඉතා සීමිත කොටසක් විතරයි ගෝල්ෆේස් පිට්ටනියට ඇවිල්ලා තිබෙන්නේ. එතැනට ඇවිත් කියනවා අපට යන්න කියලා. අපි හැමෝම මේ තැන්වලට පත්වෙන්නේ ජනතාවගේ පරමාධිපත්‍ය බලයෙන්. ඒ ගෞරවය ජනතාවට අදත් තිබෙනවා. ජනතා පරිමාධිපත්‍ය බද්ධ වෙලා තිබෙන්නේ රටේ ව්‍යවස්ථාවට. ජනතාව අපව පත්කළේ රට අර්බුදයක තියලා ඉවත් වෙලා යන්න නෙමෙයි.

චෝදනා නම් ඕනෑ තරම් කරන්න පුළුවන්. හැබැයි ඒවා ඔප්පු කරන්නත් ඕනෑ. එහෙම නැතිව ව්‍යවස්ථාවටත් පිටුපාලා, මේ රට අරාජික කර අපට එහෙම යන්න පුළුවන්කමක් නැහැ.

අපි කවදාවත් ඉතිහාසයේ අභියෝගවලින් පැනලා ගියපු මිනිස්සු නොවන බව ඔබට අමුතුවෙන් කියන්න ඕනෑ නැහැ. මේ ආර්ථික අභියෝගය හමුවෙත් අපි පැන යන්නේ නෑ. අපට කෙටි කාලීන හා දිගු කාලීන ආර්ථික කළමනාකරණ ප්‍රතිපත්තියක් තිබෙනවා.මේ අභියෝගය ඒ අනුව ජයගන්න පුළුවන් කියා විශ්වාසයකුත් අපට තිබෙනවා.

මහ බැංකුව ඇතුළු රාජ්‍ය මූල්‍ය ආයතන සඳහා ජනතාව පිළිගත් ප්‍රධානීන් පත්කරගන්න පහුගිය කාලේ අපට පුළුවන් වුණා. පසුගියදා චීන අගමැතිවරයාට දුරකථනයෙන් කතා කළා. චීනයේ සහයෝගය අපට දෙන්න එතුමා පොරොන්දු වුණා. ඒ විතරක් නෙමෙයි මිත්‍ර රටවල් රැසක් සමඟ මම සාකච්ඡා කළා. එහි ප්‍රතිඵල විදියට ඔවුන් මේ වනවිටත් අපට උදව් කරන්න පටන් අරන් තිබෙනවා.

අන්තර්ජාතික මූල්‍ය අරමුදලට ගිහිල්ලා ලංකාවේ ඇතිවූ තත්ත්වය පෙන්වලා දුන්නම ඔවුන් අපට අවශ්‍ය ආධාර දෙන්න දැන් එකඟතාව පළ කර තිබෙනවා. අපේ මුදල් ඇමැති අලි සබ්රි මහතා ගිහින් ඒ කටයුත්ත ඉටුකළා. අයි.එම්.එෆ් ගිය නිලධාරීන් එක්ක මම සාකච්ඡා කළා. අපි ගැන ඔවුන්ට විශ්වාසයක් තිබෙනවා. හැබැයි අපි ඔවුන්ගේ යම් යම් ඉල්ලීම්වලටත් ඇහුම්කම් දෙන්න සිද්ධ වී තිබෙනවා. ඒවා අපි අනුගමනය කරමින් ඉදිරියට යන්න ඕනෑ. රට ගොඩ නගන්න ඕනෑ. විදේශ ආධාර ලබාගෙන හෝ අපි රට ගොඩ නඟන්න අවශ්‍ය වැඩපිළිවෙළ ඉටු කරනවා.

ඒ ඒ අවස්ථාවලදී තමයි සමහරු මේ එහාට මෙහාට ගිහින් හොල්මන් කරන්නේ. ඉතින් ඒ හොල්මන්වලට බයනම් සොහොනේ ගෙවල් හදන්නේ නැහැ කියනවනේ. ඒ වගේ අය දැක තිබෙනවා. අපි බලාගෙන ඉන්නවා මොනවද ඉදිරියට ඔවුන් කරන්නේ කියා. ඒක නිසා තමුන්නාන්සේලාගේ ඒ ශක්තියත් එක්ක අපි ඒ අයට ඕනෑ විදිහට රට හදන්නවත් රට ගෙනියන්නවත් එහෙම නැතිනම් අපව නටවන්නවත් අපි ඉඩදෙන්නේ නැහැ කියන එක මම තමුන්නාන්සේලාට මතක් කරනවා.

More articles

Latest article