28 C
Colombo
අඟහරුවාදා, දෙසැම්බර් 6, 2022

කොළඹ වරාය නගර කොමිෂන් සභාවේ සභාපති හා සාමාජිකයන් බහුතරය ශ්‍රී ලාංකිකයන් – අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ

Must read

කොළඹ වරාය නගර කොමිෂන් සභාවේ සංයුතිය බහුතරය ශ්‍රී ලාංකිකයන් විය යුතුයැයි යන යෝජනාව සහ කොමිෂන් සභාවේ සභාපතිද ශ්‍රී ලාංකිකයෙක් විය යුතුය යන මතය පනත තුළින්ම තහවුරු කිරිමට බලාපොරොත්තු වන බව ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

ජනතා අදහස් අගය කරන බවත්, ශ්‍රේෂ්ටාධිකරණයට ගරු කරන බවත් පැවසූ අග්‍රාමාත්‍යතුමා පනත් කෙටුම්පතට ශ්‍රේෂ්ටාධිකරණය ලබා දී ඇති සියළුම උපදෙස් හා නියෝග දෙවන වර කියවීමේදී එකතු කිරීමට බලාපොරොත්තු වන බවද සඳහන් කළේය.

එමෙන්ම ජනතා අදහස් හා සහෝදර පක්ෂ වල අදහස් වලට ඇහුම්කන් දෙමින් මෙම පනත් කෙටුම්පතට තවත් සංශෝධන එකතු කිරීමට බලාපොරොත්තු වන බවද මහින්ද රාජපක්ෂ මහතා කීය. අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව ස්ථාපනය කිරීමේ පනත් කෙටුම්පත දෙවන වර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමිනි.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ පාර්ලිමේන්තු කථාව

ගරු කථානායකතුමනි, අද දින කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව ස්ථාපනය කිරීමේ පනත මේ ගරු සභාවට මා ඉදිරිපත් කරන්නේ ඉමහත් සතුටිනි. මෙම නව කොළඹ වරාය නගරය ඉදිකිරීම ආරම්භ කරන ලද්දේ 2014 වසරේ සැප්තැම්බර් 17 දින මාගේ ජනාධිපති ධූර කාලයේ දී බව ඔබතුමා දන්නවා. එම ඉදිකිරීම් කටයුතු සඳහා මුල්ගල තබන ලද්දේ මහජන චීනයේ ජනාධිපති ෂී ජින් ජිංග් මැතිතුමා සහ මා විසින් බවත් ඔබතුමා දන්නවා.

එලෙස ආරම්භ කළ එම දැවැන්ත ව්‍යාපෘතිය අද වන විට හෙක්ටයාර් 269 කින් සමන්විත භූමියක් ශ්‍රී ලංකාවට එකතු කිරීමට සමත් වී ඇති බවත් අප සියළුදෙනාම දන්නවා. එම නව භූමිය 2019 අගෝස්තු මස පසුගිය රජය විසින් කොළඹ දිස්ත්‍රික්කයට එකතු කරන ලද අතර, මේ වන විට කොළඹ වරාය නගරය ලෙස හැඳින්වීමකින් ශ්‍රී ලංකා ආර්ථිකයට දැවැන්ත අවස්ථා රාශියක් එකතු කිරීමට අපට වටිනා අවස්ථාවක් උදා කර තිබෙනවා.

ගරු කථානායකතුමනි,

මෙම නව ව්‍යාපෘතියෙන් නිසි ඵල නෙළා ගැනීමට නම් එම නගර සංකීර්ණය හරහා විශාල ආයෝජනයක් රට තුලට ගලා ඒමට අවශ්‍ය වන නීතිමය සහ වාණිජමය රාමුව මනාව සකස් කිරීම අත්‍යවශ්‍යයයි. එසේ කිරීමට අප රජයට විශේෂ වගකීමක් දැන් පැවරී ඇති බව අප වටහා ගත යුතුය.

එම රාමුව නිසි ලෙස සකස් කරවීමට අපට හැකි වන්නේ නම් ඒ හරහා අපේ රටේ ආර්ථිකයට ඊළඟ වසර පහ තුළ දී ඇමෙරිකානු ඩොලර් බිලියන 15ක පමණ ආයෝජනයක් ලබා ගැනීමට හැකි වන්නේ යැයි
ආර්ථික විශේෂඥයින් පවසා තිබෙනවා. ඒ සමගම නව නගරය ඉදිකිරීම් කාර්යය සඳහා පුද්ගලයින් දෙලක්ෂයකට පමණ රැකියා හා ජීවනෝපාය අවස්ථාවන්ද මුල් වසර පහේ දී බිහි කරන්නට හැකි වෙනවා. තව ද මුල් අවුරුදු පහ තුළ ක්‍රම ක්‍රමයෙන් නව ස්ථිර රැකියාවන් 83,000ක් පමණ බිහි කරන්නට ද අවකාශය උදා වන්නේ යැයි ආර්ථික විශේෂඥයින් ගණනය කොට තිබෙනවා.

ගරු කථානායකතුමනි,

තම ආයෝජන ලෝකයේ ඕනෑම රටකට යොමු කිරීමට ආයෝජකයින්ට අද අවස්ථාව තියෙනවා. ඒ සමගම විදේශ ආයෝජන තම රටවලට ආකර්ෂණය කර ගැනීමට අද ලෝකයේ රටවල් අතර විශාල තරගයක් තිබෙනවා. ඒ නිසා ආයෝජන බලාපොරොත්තු වන රට වලින් ආයෝජකයන්ට ලබා දිය යුතු දිරිගැන්වීම්, පහසු තාවයන් සහ සේවාවන් ඉතා ඉහළ මට්ටමක තිබිය යුතුයි.

කොළඹ වරාය නගරය තුලත් එසේ වන්නට නම් තම කාර්යයන් සහ වගකීම් මැනවින් ඉටු කරන දක්ෂ කොමිෂන් සභාවකින් මේ නගරය සහ එහි සේවාවන් කළමනාකරණය විය යුතුය. එමෙන්ම මෙම නව නගරයට ආයෝජනය කිරීමට පිවිසෙන සියලුම ආයෝජකයින් අවහිරතාවයන් හෝ බාධා වලට භාජනය නොවී තම ව්‍යාපාර කටයුතු වල නිරතවීමේ වාතාවරනය සකස් විය යුතුය. එසේ කිරීම සඳහා දැනට අපේ රටේ බොහෝ ආයෝජකයින්ට සිදුවන අසාධාරණ බාධා, කාලය නාස්ති කිරීම්, අනපේක්ෂිත වියදම්, නිලධාරීවාදී ප්‍රමාදයන්, හදිසි ප්‍රතිපත්ති වෙනස් කිරීම්, යනාදිය මේ නව නගරයේ දී අවම කිරීම අත්‍යවශ්‍යයි.

ඒ සඳහා විසඳුමක් වශයෙන් අප රජය යෝජනා කර ඇත්තේ එකම කවුළුවකින් (single window) මෙම නගරයට පිවිසෙන විදේශ ආයෝජකයින් ට අවශ්‍ය සියළුම සේවාවන් සහ පහසුකම් ලබා දී ඔවුන්ගේ ආයෝජන රටට ගලා ඒමට අවශ්‍ය යහපත් වාතාවරනය සැලැස්වීමයි.

ගරු කථානායකතුමනි,

ඕනෑම ආයෝජකයෙකු තම ආයෝජනය කරද්දී බලාපොරොත්තු වන වාසීන් සහ අවශ්‍යතාවන් තිබෙනවා. ඒවායෙන් කිහිපයක් සඳහන් කිරීමට මා කැමැති. තමා ආයෝජනය කරන රට පිළිබඳව තම විශ්වාසය තබා ගත හැකි දේශපාලනික සහ ආයතනික වාතාවරණයක් තිබිය යුතුයි. එම රටේ ආරක්ෂාව සහ සාමය තිබිය යුතුයි. එම රටේ ආයෝජනය කිරීමට පහසු විය යුතුයි. එම රටේ ව්‍යාපාර කිරීමට ඇති පහසු තාවය ඉහළ මට්ටමක තිබිය යුතුයි. එම රටේ බදු සහන සහ වෙනත් දිරිගැන්වීම් තිබිය යුතුයි. එම රටේ සාර්ව ආර්ථික සාධක යහපත් මට්ටමක තිබිය යුතුයි. එම රටේ ආයෝජකයන්ට සහ ඔවුන්ගේ කණ්ඩායම් වලට සුරක්ෂිතව සහ ජාත්‍යන්තර මට්ටමකින් ජීවත්වීමට හැකියාව තිබිය යුතුයි. එම රටේ වරාය, ගුවන් තොටුපල, මාර්ග, විදුලිය, සන්නිවේදන පහසුකම් ඇතුළු යටිතල පහසුකම් ජාත්‍යන්තර මට්ටමක තිබිය යුතුයි. සෞඛ්‍ය සහ අධ්‍යාපනික පහසුකම් ඉතා ඉහළ මට්ටමක තිබිය යුතුයි. ක්‍රීඩා සහ විනෝදාංශ වාතාවරණය උසස් මට්ටමක තිබිය යුතුයි. අලංකාර නගර පරිසරයක් තිබිය යුතුයි.
එසේනම්, අප රටට ආයෝජනය ආකර්ෂණය කරගැනීමට මේවා සියල්ලම අප රට තුළ ආයෝජකයන්ට ලබා දෙන්නට අප කටයුතු කළ යුතුයි.

ගරු කථානායකතුමනි,

අප රටේ ව්‍යාපාර කිරීමේ පහසු තාවය පසුගිය රජයේ කාලය තුළ දී විශාල පසුබෑමකට ලක්ව තිබූ බව අකමැත්තෙන් වුවද අපට පිළිගන්නට සිදුවෙනවා. 2014 දී ලෝක බැංකුවේ ව්‍යාපාර කිරීමේ පහසු තාවය ජාත්‍යන්තර ශ්‍රේණියේ ශ්‍රී ලංකාව පසු වූයේ 85 වෙනි ස්ථානයේ. එහෙත් 2019 වන විට ශ්‍රී ලංකාව 99 වෙනි ස්ථානයට වැටී තිබුණා. 2014 දී අපි දකුණු ආසියාවේ පලවෙනි ස්ථානයේ සිටියද 2019 වන විට 4 වැනි ස්ථානයට වැටී තිබුණා. එහෙයින් ජාත්‍යන්තර ආයෝජන ආකර්ෂණය කර ගැනීමේදී අප රට යම් පසුබෑමකට ලක්ව තිබූ නිසා එම තත්ත්වයෙන් ද අපි ඉතා ඉක්මනින් ඉහළ යෑමට වෑයම් කළ යුතුයි. එසේ කරන්නට නම් අප රටතුළ ආයෝජකයන්ට පහසුතාවයන් ඇති කරවීමට කටයුතු කළ යුතු බව අවිවාදයෙන් පිළි ගන්නට අපට සිදුවෙනවා. එම ප්‍රයත්නයේ එක් මූලික අංගයක් වශයෙන් අප රටෙහි මේ නව වරාය නගරය තුල ව්‍යාපාර කිරීමේ පහසුකම් ඉහළ මට්ටමකට ලක්කිරීමෙන් ව්‍යාපාරිකයන් සහ ආයෝජකයන් ආකර්ශනය කර ගැනීමට අපට හැකි වනු ඇතැයි අපි විශ්වාස කරනවා. ඒ වගේම, එම නව ගැම්ම හරහා සමස්තයක් වශයෙන් රට පුරාම ව්‍යාපාර කිරීමේ අනිකුත් පහසු තාවයන් ද වැඩි කර ගැනීමට හැකි වීම මෙම ව්‍යාපෘතියෙන් ලබාගත හැකි තවත් විශේෂ වාසියක්.

ගරු කථානායකතුමනි,

2006 සිට 2014 දක්වා වසර 9ක කාලය තුළ දී අප රට සංවර්ධනය වූ වේගය පිළිබඳව ඔබතුමා හොඳින් දන්නවා. ඒ කාලයේ දී විවිධ අභියෝග මධ්‍යයේ වුවත් ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය ඇමරිකානු ඩොලර් බිලියන 24 සිට බිලියන 79 දක්වා වැඩි කරගන්නට අපට හැකි වුණා. එහෙත් ඊට පසු 2015 සිට 2019 වසර 5 තුළදී අප රටේ දළ දේශීය නිෂ්පාදිතය වැඩි වූයේ අමෙරිකානු ඩොලර් බිලියන 80 සිට බිලියන 82 දක්වා පමණයි. ඒ නිසා අප රටේ ආර්ථික ප්‍රතිලාභ වර්ධනය වීම සම්පූර්ණයෙන්ම පාහේ අඩාල වුණා. කිසිදු ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට හෝ ක්‍රියාත්මක කිරීමට ඒ කාලයේ දී එම රජය අසමත් වුණා.

2020 වසරේදී අපි නැවත රජය බාර ගත් පසුව මුළු ලෝකයම වෙලා ගත් කෝවිඩ් වසංගතයට අපට මුහුණ දෙන්නට සිදුවුණා. අපේ ජනතාව කොවිඩ් උවදුරෙන් ආරක්ෂා කර ගැනීමට දින 66ක් තිස්සේ මුළු රටම වසා තැබීමට අපට සිදුවුණා. මුළු ව්‍යාපාර ක්ෂේත්‍රයම දැඩි අභියෝග වලට මුහුණ දීමට සිදුවුණා. ඒ හරහා මුලු ලෝකයේම සිදු වූ ආකාරයට අප රටද පසුබෑමකට ලක් වෙමින් 2020 වසරේ දී සියයට 3.6 කින්ආ ර්ථිකය සංකෝචනය වුණා. ඒ නිසා අප රටේ දළ දේශීය නිෂ්පාදිතය ඇමරිකානු ඩොලර් බිලියන 82 සිට බිලියන 80 දක්වා තවදුරටත් අඩු උනා. එසේ වුණත් ජන ජීවිතය සතුටුදායක මට්ටමක අඛණ්ඩව පවත්වාගෙන යාමට අප රජය සමත් වුණා.

ගරු කථානායකතුමනි,

රටක් හැටියට මෙම බැරෑරුම් තත්වයට දිගින් දිගටම මුහුණ දෙමින් අප රට නැවතත් කඩිසර වැඩ බිමක් බවට පත් කරන්නට අවශ්‍යයි. අපි දැනටමත් මාර්ග කිලෝමීටර ලක්ෂය, සැමට ජලය, නව අධිවේගී මාර්ග ඉදිකිරීම, වැනි රට පුරා ක්‍රියාත්මක කරන දැවැන්ත ව්‍යාපෘති හරහා ආර්ථිකමය පිබිදීමක් ඇති කරගෙන යනවා. ජනතාව අතර නැවත මුදල් පරිහරණය වීම ඇති කරවීම හරහා ව්‍යාපාරික විශ්වාසය ගොඩනංවනවා. හම්බන්තොට වරාය ආශ්‍රිත කාර්මික කලාපයක් තුළින් නව කර්මාන්ත නිර්මාණය කිරීමට අවස්ථා උදාකර දෙනවා. රට පුරා ඖෂධ ඇතුළු අලූත් කර්මාන්ත කලාප දැනටමත් ඉදිකරනවා. එසේ කරමින් රට නැවත 6% ක වර්ධන වේගය ඉක්මවා යන මාවතකට යොමු කරනවා.

ගරු කථානායකතුමනි,

මෙම නව පෝට් සිටි නගරය පදනම් කොටගෙන ඊළඟ අවුරුදු 5 තුළදී අප රට තුළට අවම වශයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 15 ක පමණ ආයෝජන ආකර්ෂණය කර ගැනීමට අපි දැන් කටයුතු කරගෙන යනවා. ඒ සඳහා අවශ්‍ය නීතිමය සහ ව්‍යාපාර කිරීමේ පහසුතා රාමුව අද මේ නව පනත තුළින් අප ස්ථාපනය කරනවා. ඒ හරහා covid වසංගතය මධ්‍යයේ වුවද අප රටේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කරවීමට හැකිවනවා. මේ පනත තුළින් එක කවුළුවකින් සියලුම සේවාවන් ආයෝජකයාට ලබාගැනීමට හැකිවන නිසා අපේ බලාපොරොත්තුව වන්නේ ලෝකයේ ම ඉහළ පෙළේ ආයෝජකයන් අප රටට පිවිසෙන්නට යොමු කිරීමයි.

ගරු කථානායකතුමනි,

අප රජය නිරන්තරයෙන් ජනතාවට සවන් දෙන රජයක් බව ඔබතුමා දන්නවා. ජනතා අදහස් අප අගය කරනවා. ශ්‍රේෂ්ඨාධිකරණයට ගරු කරනවා. එහෙයින් මේ පනත පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදී ඇති සියළුම උපදෙස් හා නියෝග දෙවන කියවීමේදී එකතු කිරීමට අප බලාපොරොත්තු වෙනවා. ඒ සමගම ජනතා අදහස් හා අප සහෝදර පක්ෂ අදහස් වලටත් ඇහුම්කන් දෙමින් මේ පනතට තවත් සංශෝධන එකතු කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. එයින් එකක් මේ කොමිෂන් සභාවේ සංයුතිය පිළිබඳවයි. කොමිෂන් සභාවේ සංයුතිය බහුතරයක් ශ්‍රී ලාංකිකයින් විය යුතුයැයි යන යෝජනාව පනත තුළින් ම තහවුරු කරන්නට අපි බලාපොරොත්තු වෙනවා. ඒ අතරම, කොමිෂන් සභාවේ සභාපති ද ශ්‍රී ලාංකිකයෙකු විය යුතු යන මතය පනත තුළින් ම තහවුරු කරන්නට අපි බලාපොරොත්තු වෙනවා. මෙවැනි සංශෝධනයක් ඉදිරිපත් කරන්නට අවශ්‍යතාවය පැන නැගීමට හේතුව පසුගිය රජය විසින් කරන ලද අඥාන පත්වීම් හරහා ශ්‍රී ලංකාවට සිදු වූ දැවැන්ත පාඩු බව අපි දන්නවා. එම අත්දැකීම් වලින් බැට කෑ අපගේ ජනතාවගේ සිත් තුළ අද දැඩි බියක් ඇතිවී තිබෙනවා. එම බිය සාධාරණ බවත් අප පිළිගන්නවා. ඒ අතරම මෙම වරාය නගරයේ බිහිවන රැකියා අවස්ථා වලින් 75% ක් වත් ශ්‍රී ලාංකිකයන්ට වෙන් විය යුතුයැයි යන සංශෝධනයද අප ගෙන එන්නට බලාපොරොත්තු වෙනවා. එසේ කරනවාත් සමගම අවශ්‍ය විශේෂ නිපුණතා ශ්‍රී ලාංකිකයින් සතු නොවන සමහර අවස්ථාවලදී මෙම කොන්දේසිය ලිහිල් කිරීමට කොමිෂන් සභාවට අවකාශය ලබා දිය යුතු යැයිද අප විශ්වාස කරනවා. ඒ අනුව එවැනි විශේෂ අවස්ථා වලදී මෙම කොන්දේසිය ලිහිල් කිරීමට බලයක්ද පවරමින් ශ්‍රී ලාංකිකයන් විශාල සංඛ්‍යාවකට රැකියා අවස්ථා සැලසෙන ආකාරයට මෙම පනත සංශෝධනය කිරීමට අප බලාපොරොත්තු වෙනවා.

ගරු කථානායකතුමනි,

2015 සිට 2019 දක්වා කාලය තුළදී පසුගිය රජය මෙම ව්‍යාපෘතියේ වටිනාකම අවබෝධ කර ගැනීම සතුටට කරුණක්. එහි හොඳම නිදසුන වන්නේ 2014 දී අප රජය කාලයේ දී ආරම්භ කළ මෙම වරාය පෝට් සිටි ඉදිකිරීම 2015 සිට විවිධ හේතූන් නිසා අඩාල වුවද, මන්දගාමී වුවද, විශාල වන්දියක් ගෙවන්නට සිදු වුව ද, පසුගිය රජය එම ව්‍යාපෘතිය දිගටම ක්‍රියාත්මක කිරීමයි.

අද විපක්ෂයේ සිටින මන්ත්‍රීතුමන් ඒ අවස්ථාවේදී දැක්වූ එම යහපත් ප්‍රතිචාරය නිසා අප රටට ඉදිරියේදී අත් වන්නට නියමිත වාසියේ කොටස්කරුවන් වන්නට එතුමන්ලාට අයිතියක් තිබෙනවා. ඒ නිසා පටු දේශපාලන කෝණ වලින් නොබලා රටේ අභිවෘද්ධිය වෙනුවෙන් එතුමන්ලා ඒ අවස්ථාවෙන් ඵල නෙළා ගනීවි යයි මා විශ්වාස කරනවා. ඒ අනුව අද අප රජය ඒ නව නගරය ඉදිකිරීමට ගන්නා ප්‍රයත්නයට සහයෝගය ලබාදෙමින් අලුත් උත්තේජනයක් රටට ලබා දීමට අද විපක්ෂයේ සිට වුවත් ඔබතුමන්ලා සහයෝගය ලබාදෙනු ඇතැයි අප විශ්වාස කරනවා. ඔබ සියළුදෙනාම එසේ කළහොත් එම පණිවිඩය ජාත්‍යන්තරයට අප ලබාදෙන විශිෂ්ට පණිවිඩයකි. එවැනි පණිවිඩයක් තුළින් අපේ රටට ගලා එන ආයෝජන ප්‍රමාණය ඉක්මනින් වැඩි වෙන බව නිසැකව ම අපට කියන්නට පුළුවන්. එවිට මෙම ව්‍යාපෘතියේ ජයග්‍රහණය අප සියළුදෙනාටම පක්ෂ භේදයකින් තොරව භුක්ති විදීමට හැකි වනු ඇත.

එසේනම් ගරු කථානායකතුමනි,

අපේ රටට ආදරය කරන රටේ ඉදිරි ගමනට ආශිර්වාද කරන සියලුම මන්ත්‍රීවරුන්ට පක්ෂ භේදයකින් තොරව මෙම පනතට සහාය ලබා දෙන ලෙස මා ඉතා ඕනෑකමින් ආරාධනා කරනවා.

More articles

Latest article