30 C
Colombo
සෙනසුරාදා, අප්‍රේල් 27, 2024

අපේ රටේ රජවරුත් නැහැ මහරාජාලත් නැහැ – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ

Must read

මාධ්‍ය නිදහස යනු මාධ්‍ය ආයතන හිමිකරුවන්ගේ නිදහස නොවේ. ඇතැම් මාධ්‍ය ආයතන හිමියනට රට පාලනය කිරීමට අවශ්‍යව ඇතත් එසේ කිරීමේ හැකියාවක් නැත.

තමා ජනාධිපතිවරයා ලෙස ජනමාධ්‍යයට කිසිදු බලපෑමක් කර නැති බව සඳහන් කරන ජනාධිපතිතුමා විවිධ කණ්ඩායම්වල සහ පුද්ගලයන්ගේ අවශ්‍යතාව මත වැරදි මාධ්‍ය භාවිතයක නිරත වෙමින් රටත්, ජනතාවත් නැවත අගාධයට ඇද දැමීමට උත්සහ කළහොත් එවැනි පිරිස්වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට පැකිලෙන්නේ නැති බව ද ජනාධිපතිතුමා පවසයි.

යුද සමයේ රටට එරෙහිව කටයුතු කළ මාධ්‍ය කණ්ඩායමක් මාධ්‍ය ආයතනවලට රිංගාගෙන දේශියත්වයට සහ ජාතික වැඩපිළිවෙළට පහර ගසමින් සිටින බව ද ජනාධිපතිතුමා පෙන්වා දෙයි.

අද (20) පෙරවරුවේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත්, යෝඹුවැල්තැන්න ප්‍රදේශයේ පැවති “ගම සමග පිළිසඳර” 15 වැනි වැඩසටහනට සහභාගීවෙමින් ජනාධිපතිතුමා මේ අදහස් පළ කළේය.

“පුදුම මාධ්‍ය කට්ටියනේ ඉන්නේ. මාධ්‍ය ආයතන. දැන් මාධ්‍ය නිදහස කියන්නේ මාධ්‍ය ආයතනය අයිති කෙනාගේ නිදහස නෙමෙයි නේ. ඒක මාෆියාවක්. මාධ්‍ය ආයතනයට අවශ්‍ය විදිහට රට දුවන්න හදනවනම් ඒක මාෆියාවක්. අපේ රටේ රජවරුත් නැහැ මහරාජාලත් නැහැ. මහරාජලා හිටියේ ඉන්දියාවේ. මෙහෙ රජයවල් පාලකයා පාලනය කරන්න හදනවා. ඒවා මාත් එක්ක බැහැ. මම දන්නවා පාඩම් උගන්වන්න ඕනේ නම් ඒවා කරන්න. මම මාධ්‍ය නිදහස දීලා තියෙනවා. මම මාස 14ක් රට පාලනය කළා. මම කිසිම මාධ්‍ය ආයතනයක් පාලනය කරන්න ගියේ නැහැ. හැබැයි ඒ අය මේක වැරදියට පාවිච්චි කරන්න ආවොත් ඒකට නීති තියෙනවා, කරන්න පුළුවන් ක්‍රම තියෙනවා. මම ඒ නීති ක්‍රියාත්මක කරනවා. ක්‍රියාත්මක කරනවා.” යයි ද ජනාධිපතිතුමා පැවසීය.

“මා කිසිවිටෙකත් පරිසරය විනාශ කර නැහැ. නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස සිටින අවදියේ පටන් පරිසර සංරක්ෂණය වෙනුවෙන් ගෙනගියේ කිසිවෙකු නොකළ වැඩකොටසක්. නිදහස් චතුරශ්‍රයේ පවා එදා කුණු ගොඩවල් පිරී තිබුණා. ඒ තත්ත්වය නැති කොට කොළඹ නගරය හරිත උයනක් බවට පත් කලා. පරිසරය වෙනුවෙන් කිසිවක් නොකළ අය මට ඇගිල්ල දිගු කිරීම කණගාටුවට කරුණක්” බවද ජනාධිපතිතුමා කීය.

පසුගිය රජයේ සිටි ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙක් හන්තානේ අක්කර 30ක ඉඩමක් තම දියණියට තෑගි දී ඇත. පරිසරය ආරක්ෂා කළානම් අද ඔවුන්ට මාධ්‍ය ඉදිරියට පැමිණ හඩා වැටීමට සිදු නොවන බවද ජනාධිපතිතුමා කීය.

2015-2019 කාලය තුළ කුරුණෑගල දිස්ත්‍රික්කයේ කැලෑ අක්කර 77, පුත්තලම අක්කර 258, මොණරාගල අක්කර 100ක්, අනුරාධපුරයේ අක්කර 224ක් ඇතුළුව මයිලෑව, මාතලේ, ලග්ගල, රිදීගම, වැලිකන්න ඇතුළු දිස්ත්‍රික්ක ගණනාවක වන විනාශය සිදු කර තිබේ. එවැනි පිරිස් අද රජයට ඇගිල්ල දිගු කිරීම හාස්‍යයට කරුණක් යයි ද ජනාධිපතිතුමා පැවසීය.

More articles

Latest article