27.2 C
Colombo
ඉරිදා, මැයි 19, 2024

ලංගමට, පෞද්ගලික බස්වලට නව QR කේතයක්

Must read

පොදු ප්‍රවාහන සේවයේ නියැළී සිටින ලංගම බස් රථ සහ පෞද්ගලික බස් රථ සඳහා අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය වෙන් වෙන් වශයෙන් හඳුනාගෙන එය වෙනුවෙන් වෙනමම කිව්. ආර්. කේතයක් හඳුන්වා දීමට රජය තීරණය කර තිබේ.

බලශක්ති අමාත්‍යාංශය සහ ප්‍රවාහන අමාත්‍යාංශය මේ සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීමට ක්‍රියාත්මක වී ඇති අතර ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන හා විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මීට අදාළ සාකච්ඡාවක් ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී ප්‍රවාහන ක්ෂේත්‍රයට අදාළ නිලධාරීන් සමඟ පැවැත්විණි.

මෙමඟින් ලංගම ඩිපෝ සහ දිවයින පුරා පිහිටි ඉන්ධන පිරවුම්හල් වෙතින් ඉන්ධන දීමේ වැඩපිළිවෙළක් එළඹෙන සතිය වන විට ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන අමාත්‍යාංශය ප්‍රකාශ කරන අතර එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක වනතුරු පොදු ප්‍රවාහන සේවය සඳහා අවශ්‍ය ඉන්ධන අවශ්‍යතාව ලංගම ඩිපෝ මඟින් හා මාකුඹුර, බැස්ටියන් මාවතේ ඉන්ධන පිරවුම්හල් මඟින් සිදු කිරීමට නියමිත බව ද කියා සිටියි.

ගමනාගමන කොමිෂන් සභාව සහ පළාත් සභා ඒකාබද්ධව එම රථ නියාමනය කර අවශ්‍ය තොරතුරු දීමටත් එම තොරතුරු ද සැලකිල්ලට ගෙන අවශ්‍ය තීරණවලට ලබන සතියේ එළඹීමටත් නියමිත බව ප්‍රවාහන අමාත්‍යාංශය සඳහන් කරයි.

මේ අවස්ථාවට ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම්, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්, ලංකා ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති, ශ්‍රී ලංගම සභාපති ඇතුළු නිලධාරීහු පිරිසක් එක්ව සිටියහ.

More articles

Latest article