28.9 C
Colombo
බ්‍රහස්පතින්දා, මැයි 2, 2024

රුහුණු ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ නවක සිසුන්ට පහරදී 12ක් රෝහලේ

Must read

ගාල්ල අක්මීමන පිහිටි රුහුණු ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ සීමාවාසික සිසුන් පිරිසක් බීමත්ව පෙරේදා (26) රාත්‍රී කාලයේ නවක සිසුන්ගේ නේවාසිකාගාරයට කඩාවැදී නවක සිසුන්ට කළ පහරදීමකින් නවක සිසුන් 12 දෙනෙක් ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබේ. ඊට අමතරව සීමාවාසික සිසුන් දෙදෙනෙක්ද මෙහිදී තුවාල ලබා ඇති බව සඳහන්ය. නේවාසිකාගාරයේ ඒ වන විට සිට ඇත්තේ නවක සිසුන් 12 දෙනෙක් පමණක් බවත් එම 12 දෙනාම රෝහල්ගතව සිටින බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය. නවක වද සිදුවීමක් මෙම පිටුපස ඇතැයි මූලික විමර්ශනවලින් පෙනී යන බවද එම නිලධාරියා පැවසීය.

තුවාල ලැබූ නවක සිසුන් පවසන්නේ මීට පෙර එම පීඨයේ අධ්‍යාපනය හදාරා දැනට සීමාවාසික පුහුණු ගුරුවරුන් ලෙස පාසල්වලට අනුයුක්ත කර සිටින පිරිසක් හදිසියේම නේවාසිකාගාරයට පැමිණ තමන්ට පහරදුන් බවයි. එම සීමාවාසික කණ්ඩායම 53 දෙනකුගෙන් සමන්විත බවත්, ඒ අය අතරින් වැඩි පිරිසක් මෙම පහරදීමට සම්බන්ධව සිට ඇති බව විමර්ශනවලින් පෙනී යන බවත් පොලිසිය කියයි. පහර කෑමට ලක්ව ඇති නවක සිසුන් කොරෝනා සහ ආර්ථික අර්බුදය හේතුවෙන් විද්‍යා පීඨය වසා දමා තිබීම හේතුවෙන් සිය අධ්‍යාපන කටයුතු හදාරනු ලැබුවේ මාර්ගගත ක්‍රමයටය. ඒ හේතුව නිසා නවක සිසුන් වන තමන්ට නවක වදය දීමට නොහැකි වූ බව පවසමින් බීමත්ව සිටි එම කණ්ඩායම සිය නේවාසිකාගාරයට කඩාවැදුණු බවත් එහිදී ඔවුන් මුලින්ම නවක සිසුන්ගේ ජංගම දුරකතන සිය භාරයට ගෙන නවක වදය දීමට සූදානම් වූ අවස්ථාවේදී දෙපාර්ශ්වය අතර ඇතිවුණු බහින්බස් වීමකින් පසු පහරදීම් සිදු වූ බවත් පහරකෑමට ලක් වූ නවක සිසුහු සඳහන් කරති. රුහුණ විද්‍යා පීඨයේ ප්‍රකාශකයකු කීවේ පෙරේදා(26) රාත්‍රියේදී 50ක පමණ පිරිසක් විද්‍යා පීඨයේ වැට කඩාගෙන ඇතුළු වී ඇති බවයි. දකුණු පළාත් භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ආචාර්ය අජිත් රෝහණ, නියෝජ්‍ය පොලිස්පති මහේෂ් සේනාරත්න, ගාල්ල කොට්ඨාසය භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී සුදත් මාසිංහ යන මහත්වරුන්ගේ උපදෙස් හා මෙහෙයවීම මත අක්මීමන පොලිසිය විමර්ශන කරයි.

More articles

Latest article