26.4 C
Colombo
ඉරිදා, මැයි 19, 2024

සෝල් නුවර හැලොවින් ඛේදවාචකය: උඩතලවින්නේ මුනව්වර්ටත් දිවි අහිමි වෙයි

Must read

දකුණු කොරියාවේ සෝල් අගනුවර පැවැති හැලොවීන් උත්සවයක් අතරතුර දී තෙරපීමෙන් මිය ගිය පුද්ගලයන් 153 දෙනා අතර ශ්‍රී ලාංකිකයකු ද වේ.

මෙසේ මියගොස් ඇත්තේ මහනුවර, පාතදුම්බර, උඩතලවින්න පදිංචිව සිටි මුනව්වර් මුහම්මඩ් ජිනාත් නමැති 27 හැවිරිදි තරුණයෙක් බවට හඳුනාගෙන තිබේ.

වසර දෙකක කාලයක් කොරියාවේ රැකියාවක නිරතව සිට තිබෙන ඔහු මෙයට මාස දෙකකට පමණ ඉහතදී මෙරටට පැමිණ විවාහ වී යළි විදේශගතව තිබෙන බව හෙළි වී තිබේ. එම පුද්ගලයා රැකියාවක් සඳහා විදේශගත වූ අයෙකු නොවන අතර, අධ්‍යාපන කටයුතු සඳහා විදේශගත වූ පුද්ගලයෙකු බවට තොරතුරු ලැබී ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. මෙම සිද්ධිය වාර්තා වීමත් සමඟ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විදේශ සම්බන්ධතා අංශය ඒ මොහොතේම දකුණු කොරියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරින් හා සම්බන්ධ වී මේ පිළිබඳ කරුණු සොයා තිබේ. තානාපති කාර්යාලයෙන් දැනට ලැබී ඇති තොරතුරු අනුව මියගිය පුද්ගලයා සරණාගත වීසා මත එරට රැඳී සිටි අයෙක් බව ද ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

මියගිය ශ්‍රී ලාංකිකයා සම්බන්ධයෙන් සිදු කරන නීතිමය කටයුතු එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සම්බන්ධීකරණයෙන් සිදු වන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. එම තරුණයාගේ මෘත දේහය ශ්‍රී ලංකාවට රැගෙන එනවා ද එසේ නොමැති නම් එරට දී අවසන් කටයුතු සිදු කරනවා ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති නමුත් ඔහුගේ පවුලේ ඥාතීන්ගේ අවශ්‍යතාවය මත එය සිදු කරන බව ද විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යේෂ්ඨ ප්‍රකාශිකාවක් ÒදිනමිණÓ ට පැවසුවාය.

සිද්ධියෙන් තවත් ශ්‍රී ලාංකිකයින්ට අනතුරක් සිදුව තිබේ දැයි සොයා බැලීම සඳහා දකුණු කොරියාවේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දැනුවත් කර තිබෙන බව ද එම අමාත්‍යාංශය සඳහන් කරයි.

මේ වන විටත් ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කටයුතු කරමින් සිටින අතර, එරට සේවය කරන ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් නිරන්තරයෙන් සොයා බලන බව විදේශ කටයුතු ඇමැති අලි සබ්රි මහතා ප්‍රකාශ කරයි.

මියගිය ජිනාත්ගේ ඥාති සහෝදරයෙකු වන එම්. අර්සත් මෙසේ පැවසුවේ “මියගිය ජිනාත් විවාහ වෙලා මාස දෙකයි. එයා විවාහ උත්සවයෙන් පසු කොරියාවට ගිහින් මාස එකහමාරයි. ඒ රටේ පටු වීදියක තිබ්බ උත්සවයකදී තෙරපීමකට ලක්වෙලා මිය ගියා කියලා තමයි දැන ගන්න තියෙන්නේ. එයාගේ අම්මයි තාත්තායි ලෙඩින් ඉන්නේ. අක්කා විවාහ වෙලා. මල්ලි කෙනෙකුත් ඉන්නවා. බිරිඳ මඩකළපුවේ ඉන්නේ. මේ මරණය සම්බන්ධයෙන් සාධාරණයක් කරන්න කියලා අපි රජයෙන් ඉල්ලනවා” යනුවෙනි.

More articles

Latest article