28.4 C
Colombo
බදාදා, මැයි 8, 2024

යුද්ධයක් නැතත් ආරක්ෂක වියදම් කපන්න බැහැ – ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා

Must read

රට තුළ යුදමය වාතාවරණයක් නොමැති වුවද ආරක්ෂක අංශ වෙනුවෙන් වෙන් කරන ප්‍රතිපාදන අඩු කිරීමේ කිසිදු හැකියාවක් නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවේදී පෙරේදා (23)ප්‍රකාශ කළේය.

යුද්ධ ඇති වන්නේ පෙර දැනුම් දීමකින් තොරව බවත් ඕනෑම අවස්ථාවකට මුහුණ දීම වෙනුවෙන් ආරක්ෂක අංශ ශක්තිමත්ව සූදානමින් සිටිය යුතු බවත් සරත් ෆොන්සේකා මහතා පැවසීය.

කිසිදු රටකට යුද්ධ ඇති නොවේ යැයි පූර්ව නිගමනවලට එළඹිය නොහැකි අතරම වෙනත් රටවලින් බාහිර බලපෑම් ඇති නොවන බවට සහතික විය නොහැකි බවද හෙතෙම පැවසීය. එබැවින් ආරක්ෂක අංශ වෙනුවෙන් වෙන් කරන ප්‍රතිපාදන අඩු විය යුතු බවට ඇතැමුන් සිදු කරන ප්‍රකාශවලට තමන් කිසිසේත් එකඟ නොමැති බවද මන්ත්‍රීවරයා පැවසීය.

රටක ආරක්ෂාව යනු ලාභ බඩුවක් නොවන බවත් ආරක්ෂාව යනු මිල අධික වූවක් බව සියලු දෙනා අවබෝධ කරගත යුතු අතර, ආරක්ෂක අංශ සාමාජිකයින් විශ්‍රාම යන ප්‍රමාණයට බඳවා ගැනීම් සිදු නොවන බවද හෙතෙම පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා මේ බව සඳහන් කළේ ආරක්ෂක අමාත්‍යාංශ වැය ශීර්ෂය පිළිබඳ විවාදයට පාර්ලිමේන්ත්තුවේදී ඊයේ (24) එක් වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා යුද්ධයක් නැහැ කියලා ආරක්ෂාවට මුදල් වෙන් නොකර ඉන්න බැහැ. යුද්ධයක් එන්නේ කියලා නෙවෙයි. ඕනෑම වෙලාවක සූදානමින් සිටිය යුතුයි. යුද්ධයක් ආවට පසුව හමුදාව සූදානම් කරන්න බැහැ. අපි ඕනෑම අවස්ථාවකට මුහුණ දීම වෙනුවෙන් සූදානම් විය යුතුයි.

කිසිම රටකට බාහිර තර්ජන නැහැ කියලා හිත හදාගන්න බැහැ. ඉන්දීය හමුදා ලංකාවට ආවේ අපේ කැමැත්තෙන් නෙවෙයි. කියලත් නෙවෙයි. ඒක අපට නතර කරන්න හැකියාවක් තිබුණේ නැහැ. සිංගප්පූරුවේ ආරක්ෂාව වෙනුවෙන් වියදම් කරන වෙන් කිරීම අති විශාලයි. නමුත් ඒ රට අපේ කොළඹ දිස්ත්‍රික්කය වගේ රටක්. ආරක්ෂාව ලා‍ෙභට ගන්න බැහැ. ආරක්ෂාව මිල අධිකයි. ලෝකේ නිකන් ගන්න පුළුවන් එකම දේ මී උගුලේ තිබෙන චීස් කෑල්ල විතරයි.

ආරක්ෂක අංශ නඩත්තු කිරීම වෙනුවෙන් විශාල මුදලක් වියදම් කරන්න වෙනවා. වැටුප්වලට වෙන් කළ මුදල බිලියන පහකින් අඩු වී තිබෙනවා. මේකෙන් පැහැදිලි වන්නේ විශ්‍රාම යාමට සාපේක්ෂව බඳවා ගැනීම් සිදු කර නැති බවයි. යුද්ධයෙන් පසුව ආරක්ෂක අංශවලට සිදු වූ අඩු සැලකිලි නිසා බොහෝ පිරිසක් හමුදා සේවයෙන් ඉවත්ව ගිහින් තිබෙනවා. ආහාරවලට වෙන් කරන මුදල වැඩිවී නැහැ. ඒ වගේම සැපයුම් සේවා වෙනුවෙන් බිලියන 22ක් වෙන් කර තිබෙනවා. ආරක්ෂක අමාත්‍යාංශයට වෙන් කර ඇති ප්‍රතිපාදන වැඩියි කියා සිදු කරන චෝදනාවට මම එකඟ නැහැ. හමුදාව විදෙස් පුහුණුව ලැබීම අතිශය වැදගත්. ඒවට දෙන දීමනා ප්‍රමාණවත් නැති නිසා පුහුණුවීම් සඳහා යවන ප්‍රමාණය සියයට පනහකින් අඩු කර තිබෙනවා. හමුදාව නඩත්තු කිරීමේදී ප්‍රමිතිය ආරක්ෂා කළ යුතුයි. ලෝකයේ අනෙකුත් හමුදාවන් හා කටයුතු කළ හැකි ආකාරයට නඩත්තු කළ යුතුයි.

ලෝකයේ අනෙකුත් රටවල ආරක්ෂක වියදම වෙනුවෙන් විශාල මුදලක් වෙන් කරනවා. සිංගප්පූරුවේ ඒක පුද්ගල ආදායම ඩොලර් 50000ක්. නමුත් ආරක්ෂක වියදම ඩොලර් බිලියන 12.5ටත් වැඩියි. ලෝකයේ අනෙකුත් රටවල් සමඟ සසඳන විට අපගේ ආරක්ෂක අංශවලට වෙන් කරන්නේ සුළු මුදලක්. ආරක්ෂාවේ වටිනාකම නොදන්නා අයට රට හදන්න අමාරුයි. හමුදාවේ ගෞරවය ආරක්ෂා කරමින් දේශපාලකයින්ගේ අතකොලුබවට පත් නොවී රට ජාතිය ආගම ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමට කටයුතු කළ යුතුයි. හමුදා ප්‍රධානීන් දේශපාලකයින් ඉදිරියේ දණ ගැහුවොත් කනිෂ්ඨ සේවකයින් කටයුතු කරන්නෙත් ඒ ආකාරයටමයි.

More articles

Latest article