33 C
Colombo
සිකුරාදා, අප්‍රේල් 26, 2024

හිටපු ජනපති සිරිසේනගේ පෙත්සම් විභාගය කල්යයි

Must read

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට පියවර නොගැනීම සම්බන්ධයෙන් ගොනුකර ඇති පුද්ගලික පැමිණිල්ලකට අදාළව සැකකරුවකු ලෙස නම් කර අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කර තිබෙන සිතාසිය බලරහිත කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ගොනුකර ඇති රිට් පෙත්සම විභාගය ජනවාරි මස 17 වනදා දක්වා කල්තැබීමට අභියාචනාධිකරණය නියම කළේය.

එම පෙත්සම අද (06) විභාගය සඳහා සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී සියලු පාර්ශවයන්ගේ එකඟත්වය මත මෙම පෙත්සම පිළිබඳ විභාගය ජනවාරි මස 17 වනදා දක්වා කල්තැබීමට අධිකරණය නියම කළේය.

මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ඉදිරිපත් කළ ඇති මෙම රීට් පෙත්සම ඉකුත් දා විභාගයට ගැනීමට අවසර දුන් අභියාචනාධිකරණය කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය එම අධිකරණය හමුවේ ඔහුට එරෙහිව ගොනුකර ඇති පෞද්ගලික පැමිණිල්ලේ විභාගය සති දහයකට කල්දමන ලෙස ඉකුත් දා නියෝග කර තිබුණි.

මෛත්‍රිපාල සිරිසේන මහතා කියා සිටින්නේ, පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම සම්බන්ධයෙන් සිරිල් ගාමිණී පියතුමා සහ එම ප්‍රහාරයෙන් වින්දිතයෙක් බවට පත් වූ පුද්ගලයෙකු විසින් තමන්ට එරෙහිව කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෞද්ගලික පැමිණිල්ලක් ගොනුකර ඇති බවය.

එම පෞද්ගලික පැමිණිල්ලේ අන්තර්ගත කරුණු මුළුමනින්ම පදනම් විරහිත බව පෙන්වාදෙන සිරිසේන මහතා එම කරුණු පදනම් කරගෙන තමන්ට අධිකරණය හමුවේ සැකකරුවකු ලෙස පෙනීසිටින්නැයි කොටුව මහෙස්ත්‍රාත්වරයා විසින් නිකුත් කර තිබෙන සිතාසිය නීතියට පටහැනි බව සඳහන් කළේය.

ඒ අනුව තමන්ට අධිකරණය හමුවේ පෙනී සිටින මෙන් දන්වා නිකුත් කර තිබෙන සිතාසිය බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත් ඔහු අධිකරණයෙන් ඉල්ලා තිබුණි.

More articles

Latest article