32 C
Colombo
බදාදා, මැයි 8, 2024

ශ්‍රී ලංකා – ඉන්දියා පළමු එක්දින සටන අදයි

Must read

සංචාරක ශ්‍රී ලංකා පිල හා ඉන්දියාව අතර පළමු එක්දින තරගය ගුවහාති හි බාසපරා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා වේලාවෙන් අද පසුවරු 1.30ට ආරම්භ වෙයි. දෙරට අතර පැවැති විස්සයි 20 තරගාවලිය 2 – 1ක් ලෙස ඉන්දියාව ජයගත් හෙයින්, එක්දින තරගාවලිය කෙරෙහි වැඩි අවධානයක් යොමුව පවතී. විස්සයි 20 තරගාවලියේදී ශ්‍රී ලංකා පිතිකරුවන් සැලකිය යුතු දක්ෂතා ප්‍රදර්ශනය කිරීමට සමත් වීම හේතුවෙන් එක්දින තරගාවලියට අලුත් ජීවයක් ගෙන දෙනු ඇතැයි අනාවැකි පළ වෙමින් පවතී.

මේ වසරේ ඉන්දියාවේදී පැවැත්වෙන එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට ශ්‍රී ලංකාව සුදුසුකම් ලබාගතහොත් එරම තරගාවලියට පෙර ඉන්දීය තණතීරු මත ලබා ගන්නා මේ එක්දින තරග අත්දැකීම ඉතා වැදගත් වේ.

ශ්‍රී ලංකාව අවසන් වරට 2017 වසරේ දී ඉන්දියාවේදී එක්දින තරගාවලියකට සහභාගී වූ අතර, එම තරගාවලිය 2-1ක් ලෙස ඉන්දියාව ජයග්‍රහණය කළේය. එම තරගාවලියේ පළමු තරගය ධර්මශාලා හිදී පැවැති අතර එයින් ශ්‍රී ලංකාවට කඩුලු 7ක ජයක් හිමි වුණද, මොහාලී හි පැවති දෙවැනි එක්දින තරගය ලකුණු 141කින් හා විශාඛාපට්නම් හි පැවති තෙවැනි එක්දින තරගය කඩුලු 8කින් ඉන්දියාව ජයග්‍රහණය කළේය.

කෙසේ වුවද ඉන්දියාව අවසන් වරට රෝහිත් ෂර්මාගේ නායකත්වය යටතේ ක්‍රීඩා කළ නවසීලන්ත එක්දින තරගාවලිය හා බංග්ලාදේශයේ පැවැති එක්දින තරගාවලිය පරාජයට පත්වීම ප්‍රබල පසුබැසීමක් බවට පත්ව තිබේ. නවසීලන්ත එක්දින තරගාවලියේ තරග දෙකක් විසඳුමකින් තොරව අවසන් වූ අතර එක් තරගයක් ඉන්දියාව කඩුලු 7ක පරාජයක් ලැබීය.

බංග්ලාදේශය සමඟ එක්දින තරගාවලියේදී ඉන්දියාව 2-1ක් ලෙස ලජ්ජා සහගත පරාජයකින් පසුව, මෙම ශ්‍රී ලංකාව සමඟ තරගාවලියට පිවිසේ. එලෙස කනස්සල්ලට පත්ව සිටින රෝහිත් ෂර්මාගේ නායකත්වයෙන් යුත් ඉන්දීය කණ්ඩායම 2023 ලෝක කුසලානය සඳහා මෙම තරගාවලිය පෙර සූදානමක් බව පවසා සිටී.

ශ්‍රී ලංකාවට එරෙහි විස්සයි 20 තරගාවලියට ක්‍රීඩා නොකළ විරාත් කෝලි, රෝහිත් ෂර්මා සහ කේ. එල්. රාහුල් පිතිකරණ අංශයේ බලාපොරොත්තු ඇතිව යළි එක්දින කණ්ඩායමට කැඳවා ඇත. එමෙන්ම ඔවුන්ගේ ප්‍රබලතම වේග පන්දු යවන්නා වූ ජස්ප්‍රිට් බුම්රා ද සංචිතයට කැදවීම විශේෂත්වයකි. ඉන්දීය කණ්ඩායමේ නායක රෝහිත් ෂර්මාට ගෙවී ගිය වසර ආබාධවලින් පීඩා විඳි වසරක් වූ අතර, බංග්ලාදේශය සමඟ දෙවැනි එක්දින තරගයේදී ඔහුගේ ඇඟිල්ල තුවාල වීම නිසා වසර තවත් අමිහිරි සටහනකින් අවසන් විය.

රෝහිත්ගේ කණ්ඩායම ආසියානු කුසලානය ආරක්ෂා කර ගැනීමට අපොහොසත් වූ අතර, ඔසුට්‍රේලියාවේ නිමාවූ විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේදී අවසන් පූර්ව වටයෙන් හැලී ගියේය.

මේ වසර අගදී ඉන්දියාවේදී පැවැත්වීමට නියමිත පන්දුවාර 50 ලෝක කුසලානය වෙද්දී රෝහිත්ගේ ශාරීරික යෝග්‍යතාව පිළිබඳව සැක මතුවන බව හිටපු ඉන්දීය නායක කපිල් දේව් ද පවසා ඇත.

දසුන් ශානකගේ නායකත්වයෙන් යුතුව ඉන්දියාව සමඟ එක්දින තරග තුනක් පවත්වා ඇති අතර, කොළඹදී පැවැති එම තරග තුනෙන් 2ක් ඉන්දියාව හා ශ්‍රී ලංකාව තරගයක් ජයග්‍රහණය කළේය. දෙරට අතර එක්දින තරග 162ක් පවත්වා ඇති අතර එයින් ශ්‍රී ලංකාව තරග 57ක් හා ඉන්දියාව තරග 93ක් ජයගෙන සිටී. තරග 11ක් විසඳුමකින් තොරව නිමාවට පත් වූ අතර එක් තරගයක් ලකුණු සම වී නිමාවට පත් විය.

ශ්‍රී ලංකාව අවසන් විස්සයි 20 තරගයේදී අසාර්ථක වුවුද, තරගාවලියේ පළමු තරග දෙකේදීම දස්කම් දැක්වීම විශේෂත්වයකි. නායක දසුන් ශානක පිත්තෙන් පෙරමුණට පැමිණීම හා අවස්ථා කිහිපයකදීම දක්‍ෂ ලෙස පන්දු යැවීමට ඉන්දීය ක්‍රීඩකයන්ට අමතක නොවේ. එල්පීඑල් තරගාවලියේදී කැපී පෙනෙන දක්ෂතා දැක්වූ ක්‍රීඩකයන් කිහිපදෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා පිල වසරේ පළමු එක්දින තරගමාලා ජයග්‍රහණය ලබා ගැනීම සඳහා තරු පිරුණු ඉන්දීය කණ්ඩායමට එරෙහිව පිටියට පිවිසෙනු ඇත.

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර දෙවැනි සහ අවසන් එක්දින තරගය ජනවාරි 12 සහ 15 දිනවල පිළිවෙළින් කොල්කටා හා ත්‍රිවේන්ද්‍රම් හිදී පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා එක්දින සංචිතය: දසුන් ශානක (නායක), කුසල් මෙන්ඩිස් (උප නායක), වනිඳු හසරංග, පැතුම් නිශ්ශංක, ධනංජය ද සිල්වා, චරිත් අසලංක, අශේන් බණ්ඩාර, අවිශ්ක ප්‍රනාන්දු, නුවනිඳු ප්‍රනාන්දු, සදීර සමරවික්‍රම, චාමික කරුණාරත්න, දුනිත් වෙල්ලාලගේ, මහීෂ් තීක්ෂණ, ජෙෆ්රි වැන්ඩසේ, කසුන් රාජිත, ඩිල්ශාන් මදුශංක, ප්‍රමෝද් මදුශාන්, ළහිරු කුමාර,

ඉන්දීය එක්දින සංචිතය: රෝහිත් ෂර්මා (නායක), ශුබ්මන් ගිල්, විරාත් කෝලි, සූර්යකුමාර් යාදව්, ශ්‍රෙයාස් අයියර්, කේ.එල් රාහුල් (කඩුලු රකින ක්‍රීඩක), ඉෂාන් කිෂාන් (කඩුලු රකින ක්‍රීඩක), හර්දික් පාණ්ඩ්‍යා, වොෂින්ටන් සුන්දර්, යුස්වේන්ද්‍ර චාහල්, කුල්දීප් යාදව්, අක්සාර් පටෙල්, ජස්ප්‍රිට් බුම්රා, මොහොමඩ් ෂාමි , මොහොමඩ් සිරාජ්, උම්රාන් මලික්, අර්ෂ්දීප් සිං

More articles

Latest article