27 C
Colombo
ඉරිදා, මැයි 19, 2024

බිත්තර ආනයනයට ටෙන්ඩර් 20ක්

Must read

බිත්තර ආනයන ටෙන්ඩරයට ආනයනකරුවන් 20 දෙනෙකු මිල ගණන් ඉදිරිපත් කර තිබේ. ටෙන්ඩර් කැඳවීම ඊයේ (09) පෙරවරුවේ අවසන් කෙරුණු අතර, අවසන් අනුමැතිය සඳහා එය වෙළෙඳ අමාත්‍යංශයේ තාක්ෂණික කමිටුව රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාව විසින් භාර දී තිබේ.

මෙම ටෙන්ඩරයට ඉදිරිපත් වූ සියලු ආනයනකරුවන් ජාත්‍යන්තරව පිළිගත් ප්‍රමිති සහතිකද ඉදිරිපත් කර තිබූ බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර මහතා පැවසිය.

මේ අතර බිත්තර නිෂ්පාදනයට අවශ්‍ය මවු සතුන් හිඟය අවම කරලීම සඳහා අභිජනනය කරන ලද බිත්තර (Hatching Eggs) ලක්ෂ දෙකක් ආනයනය කිරීමට කෘෂිකර්ම, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ ඇමැති මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම අමාත්‍යාංශයේ පශු සම්පත් අංශයට උපදෙස් ලබා දී තිබේ.

දැනට අප රට තුළ මාසික බිත්තර නිෂ්පාදනය මිලියන 30 දක්වා අවම වීමට හේතුව සත්ත්ව ආහාර හිඟය මෙන්ම වාර්ෂිකව අවශ්‍ය වන මවු සතුන් ආනයනය 80,000 සිට 40,000 දක්වා අවම වී තිබීමය. සෑම වර්ෂයකම මවු සතුන් 80,000 බැගින් ආනයනය කළ ද පසුගිය වර්ෂය තුළ එම ප්‍රමාණය 40,000 දක්වා අවම වීම හේතුවෙන් බිත්තර මෙන්ම කුකුළු මස් නිෂ්පාදනයට ද එම තත්ත්වයෙන් බලපෑම් එල්ල විණි. මේ නිසා මවු සතුන් ආනයනය කළ හොත් බිත්තර නිෂ්පාදනය මාස 11කින් පමණ ප්‍රමාද විය හැකි බැවින් ඊට විකල්පයක් වශයෙන් අභිජනනය කරන ලද බිත්තර (Hatching Eggs) ලක්ෂ දෙකක් මෙරටට ආනයනය කිරීමට තීරණය කළ බව ඇමැති අමරවීර මහතා කියයි. අභිජනනය කරන ලද බිත්තර පෙබරවාරි මාසය අවසන් වීමට ප්‍රථම ආනයනය කළ හොත් ලබන මැයි හා ජුනි මාස වන විට මෙරට බිත්තර නිෂ්පාදනය ඉහළ මට්ටමකට ගෙන ඒමට හැකි වෙතැයි පශු සම්පත් සංවර්ධන අංශය බාරව කටයුතු කරන නිලධාරීහු ඇමැතිවරයාට දැනුම් දී ඇත.

මේ අතර ලබන සතිය වන විට බිත්තර මිල සාමාන්‍ය තත්ත්වයට පත් වනු ඇති බව සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයන්ගෙ සංගමයේ සභාපති අජිත් ගුණසේකර මහතා කීවේය.

More articles

Latest article