26 C
Colombo
සෙනසුරාදා, මැයි 18, 2024

සෞදි අරාබිය සහ ශ්‍රී ලංකාව අතර සබඳතා තර වෙයි

Must read

සෞදි අරාබි රාජධානියේ විදේශ කටයුතු අමාත්‍ය ෆයිසාල් බින් ෆර්හාන් අල් සවුද් කුමරුගේ ඇරයුමකට අනුව ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා 2023 ජනවාරි 22 -27 වැනි දින තෙක් සෞදි අරාබි රාජධානියේ නිල සංචාරයක නිරත විය.

අමාත්‍ය සබ්රි මහතා, මෙම සංචාරය අතරතුර සිය සෞදි මිත්‍ර පාර්ශ්වය සමග පුළුල් පරාසයකට විහිදුණු කරුණු පිළිබඳ පුළුල් ද්විපාර්ශ්වික සාකච්ඡාවක් පැවැත්වී ය.

සිය සංචාරයට අදාළව සෞදි අරාබි රාජධානිය සූදානම් කළ විශිෂ්ඨ විධිවිධාන සහ ඔහු එහි රැඳී සිටි කාලය තුළ තමන්ට සහ තම දූත පිරිසට දක්වන ලද නොමසුරු ආගන්තුක සත්කාර පිළිබඳව ද අමාත්‍යවරයා සිය ප්‍රසාදය පළ කළේ ය. සිය මිත්‍ර පාර්ශ්වය සමඟ පැවැත්වූ සාකච්ඡාවේ දී දෙරට අතර පවතින විශිෂ්ට ද්විපාර්ශ්වික සබඳතා පිළිබඳව අවධාරණය කළ අමාත්‍ය සබ්රි මහතා, විශේෂයෙන්ම සෞදි අරාබිය 2009, 2012 සහ 2014 යන වසරවල එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සාමාජිකත්වය දැරූ කාලය අතරතුර ජාත්‍යන්තර සංසද හමුවේ ශ්‍රී ලංකාවට ලබා දුන් සහයෝගය වෙනුවෙන් සෞදි අරාබිය වෙත සිය ස්තූතිය පුද කළේ ය.

ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් සහ අනෙකුත් සංවර්ධන කටයුතු සඳහා සෞදි සංවර්ධන අරමුදල සෞදි අරාබි රියාල් බිලියන 1.5 කට ආසන්න දායකත්වයක් මෙරටට ලබා දීම සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යටතේ ක්‍රියාත්මක වන ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන සඳහා සෞදි අරාබි රාජධානිය දක්වන සහයෝගය ද අමාත්‍යවරයාගේ ඇගයුමට ලක්විය.

ශ්‍රී ලාංකිකයන් 185000 දෙනෙකුට ආසන්න පිරිසකට සත්කාරකත්වය ලබා දීම සම්බන්ධයෙන් සිය මිත්‍ර පාර්ශ්වය වෙත සිය ස්තූතිය පළ කළ අමාත්‍යවරයා, සෞදි අරාබි රාජධානියේ පුහුණු, අර්ධ පුහුණු සහ වෘත්තීය යන කාණ්ඩ යටතේ ශ්‍රී ලාංකිකයන් සඳහා පවතින රැකියා අවස්ථා ඉහළ නැංවීම සම්බන්ධයෙන් සිය කැමැත්ත පළ කළේ ය.විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ කොළඹ වරාය නගරය සහ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය තුළ ආයෝජනය කරන ලෙස අමාත්‍ය සබ්රි මහතා සෞදි ආයෝජකයන්ට ආරාධනා කළේ ය.

සෞදි අරාබිය සහ ශ්‍රී ලංකාව සැබෑ මිතුරන් බවත් ජාත්‍යන්තර කරුණු ගණනාවක් සම්බන්ධයෙන් දෙරටම සමාන අදහස් බෙදා හදා ගන්නා බවත් සෞදි විදේශ කටයුතු අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය. EXPO 2030 ප්‍රදර්ශනය රියාද් හි පැවැත්වීම සඳහා සෞදි අරාබිය ගත් උත්සාහයට පළමුව සහය දුන් රටවලින් එක් රටක් බවට ශ්‍රී ලංකාව පත්වීම පිළිබඳව ද එතුමා සිය කෘතඥතාව මෙරටට පළ කළේ ය. ආයෝජන සඳහා වූ ශක්‍යතා සහිත ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව දෙස බලන ලෙස සෞදි අරාබිය සැමවිටම සිය ව්‍යාපාරික ආයතන දිරිමත් කරන බවද එතුමා සඳහන් කළේ ය. ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකා පාර්ශ්වය ලබා දුන් යාවත්කාලීන කිරීම්වලට ප්‍රතිචාර දැක්වූ සෞදි අමාත්‍යවරයා, “ශ්‍රී ලංකාවට සිය ලොව පුරා සිටින මිතුරන්ගෙන් ධනාත්මක ප්‍රතිචාරයක් ලැබීම පිළිබඳව තමන් සතුටට පත් වන බව” සඳහන් කළේ ය. දෙරට අතර පවතින ගුවන් සබඳතාව පූර්ව කොවිඩ් වසංගතයට පෙර පැවති මට්ටමට රැගෙන ඒමට ද අමාත්‍යවරු දෙපළ සිය එකඟත්වය පළ කළහ.

සංවර්ධනය සඳහා වූ සෞදි අරමුදලේ ප්‍රධාන විධායක නිලධාරී සුල්තාන් ඒ අල්-මර්සාද් මහතා සමඟ පැවති හමුව අතරතුර අදහස් දැක්වූ අමාත්‍ය සබ්රි මැතිතුමා, මෙරට වත්මන් ආර්ථික තත්ත්වය හමුවේ අරමුදල් පිරිනැමීම සඳහා අඛණ්ඩව කටයුතු කිරීම සහ ණය ආපසු ගෙවීමේ ක්‍රියාවලියට අදාළව විදහා දක්වන නම්‍යශීලී බව සම්බන්ධයෙන් එම ආයතනය වෙත සිය ස්තුතිය පළ කළේය.

විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා මෙම සංචාරය අතරතුර අන්තර් රාජ්‍ය සංවිධානවල ප්‍රධානීහු ද හමුවිය.

ඉස්ලාමීය සහයෝගිතා සංවිධානයේ මහලේකම් (OIC) හිස්සේන් බ්‍රාහ්මින් ටාහා මහතා සමඟ පැවත්වූ සාකච්ඡාව අතරතුර, ජාත්‍යන්තර සංසද හමුවේ දෙරටේ සහයෝගිතාව වර්ධනය කිරීම සඳහා අමාත්‍යවරයා සහ එහි මහලේකම්වරයා විසින් එකඟත්වය පළ කරන ලදී. මෙම රැස්වීම අතරතුර සිය අදහස් පළ කළ අමාත්‍යවරයා, ශ්‍රී ලංකාවට “ප්‍රත්‍යක්ෂ වූ මානුෂීය සහ ආර්ථික සහයෝගයක්” ලබා දෙන ලෙස ඉස්ලාමීය සහයෝගිතා සංවිධානයේ සාමාජික රටවලින් ඉල්ලා සිටියේ ය.

ඉස්ලාමීය සංවර්ධන බැංකුවේ (IDB) උප සභාපති ආචාර්ය සමීර් ඉක්බාල් මහතා සමඟ ද සාකච්ඡාවක් පැවැත්විණි. ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සහය විමේ අරමුණින් විකල්ප මූල්‍ය ක්‍රමවේද ගවේෂණය කිරීම සඳහා ආයෝජන සමුළුවක් සංවිධානය කිරීමට ශ්‍රී ලංකා රජය සමඟ සම්බන්ධ වී කටයුතු කිරීමට මෙම සංවිධානය ඉදිරිපත් විය.

අමාත්‍යවරයා ගල්ෆ් සහයෝගිතා කවුන්සිලයේ (GCC) මහලේකම් ආචාර්ය නායෙෆ් ෆලාහ් එම් අල් හජ්රාෆ් මහතා සමඟ පැවති සාකච්ඡාව අතරතුර, ශ්‍රී ලංකාව සහ මෙම කලාපයේ ගල්ෆ් සහයෝගිතා කවුන්සිලයේ රටවල් අතර සිදු කෙරෙන වෙළඳ කටයුතුවල සමස්ථ වෙළඳ පරිමාව වසරකට ඇමරිකානු ඩොලර් බිලියන 2.5 ක අගයක පවතින බව සඳහන් කෙරිණි. ඉන්දියාව, චීනය, යුරෝපය සහ ඇමරිකා එක්සත් ජනපදය යන රටවල් සමඟ බැලූ කල මෙය සැලකිය යුතු වෙළඳ පරිමාවකි. විදේශ රැකියා ගත් කල, මෙම කලාපය ශ්‍රී ලංකාව සඳහා අංක එකේ ගමනාන්තය වන බවද එතුමා සඳහන් කළේ ය. 2022 වසර තුළ උත්පාදනය වූ රැකියා ලක්ෂ 3 න් 257,000 ක් මෙම කලාපය කේන්ද්‍ර කරගනිමින් උත්පාදනය වී ඇති බවද විදේශ කටයුතු අමාත්‍යවරයා විසින් අවධාරණය කරන ලදී. තවද, ගල්ෆ් සහයෝගිතා කවුන්සිලයේ රටවල් සඳහා ශ්‍රී ලංකාව තුළ පවතින ප්‍රයෝජනයට නොගත් ආයෝජන අවස්ථා ගවේෂණය කිරීමේ අවශ්‍යතාවය කෙරෙහි අමාත්‍යවරයාගේ සහ මහලේකම්වරයාගේ අවධානය යොමු විය. මෙම පසුබිම තුළ ශ්‍රී ලංකාව සහ ගල්ෆ් සහයෝගිතා කවුන්සිලය අතර රාමුගත ගිවිසුමකට එළඹීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා දෙපාර්ශ්වයේ එකඟත්වය පළ කෙරිණි.

මෙම සංචාරය අතරතුර අමාත්‍ය අලි සබ්රි මහතා සහ සකාත්, බදු සහ රේගු අධිකාරියේ අධිපති වන ඉංජිනේරු සුහයිල් බින් මොහම්මද් අබාන්මි මහතා සිය රජයන් නියෝජනය කරමින් සෞදි අරාබි රාජධානියේ සකාත්, බදු සහ රේගු අධිකාරියේ මූලස්ථානයේ දී ද්විත්ත්ව බදුකරණය වැළැක්වීම පිළිබඳ ගිවිසුමට අත්සන් තැබූ හ.

අමාත්‍ය අලි සබ්රි, මදීනා පළාතේ ආණ්ඩුකාරවරයා ද හමු වූ අතර, එහිදී ශ්‍රී ලාංකිකයන් සඳහා මදීනා හි පවතින රැකියා අවස්ථා ඉහළ නැංවීම සහ බටහිර කලාපයේ සිට පැමිණෙන සෞදි සංචාරකයන්ගේ සංචාර ඉහළ නැංවීම පිළිබඳව සාකච්ඡා පවත්වන ලදී.

රියාද් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ ජෙඩා හි කොන්සල් ජනරාල් කාර්යාලය විසින් සංවිධානය කරන ලද රැස්වීම් හරහා අමාත්‍ය අලි සබ්රි මහතා රියාද් සහ ජෙඩා හි වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාවන් සමඟ ද සිය අදහස් හුවමාරු කර ගත්තේ ය.

තමන් ජෙඩා හි කොන්සල් ජනරාල් වශයෙන් කටයුතු කළ සමයේ දී පිහිටුවන ලද ජෙඩා හි ශ්‍රී ලංකා ජාත්‍යන්තර පාසලේ ද සංචාරයක නිරත වූ අමාත්‍යවරයා එම පාසලේ සිසුන් ඇමතී ය.

More articles

Latest article