29 C
Colombo
සෙනසුරාදා, මැයි 4, 2024

ශ්‍රී ලංකාව සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනයට කොන්සල්වරුන්

Must read

සංචාරක ආකර්ෂණය දිනාගත් රටක් ලෙස ශ්‍රී ලංකාව සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීම සඳහා කොන්සල්වරුන් හා නියෝජිතයින්ගේ ජාලයක් ගොඩනැගිය යුතු බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

ජෙට්වින්ග් හෝටල් සමූහයට අයත් මීගමුව Blue Oceanic Beach හෝටලයේ ස්වර්ණ ජයන්ති උත්සවය අමතමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

විදෙස් විනිමය ඉපැයීම තුළින් ශ්‍රී ලාංකීය ආර්ථිකය ශක්තිමත් කළ හැකි ප්‍රභලතම ක්ෂේත්‍රය සංචාරක කර්මාන්තය බැවින් එහි අභිවෘද්ධිය වෙනුවෙන් නවමු පියවර ගන්නා ලෙස අග්‍රාමාත්‍යවරයා සංචාරක කර්මාන්තයේ නියැලෙන සියළු පාර්ශ්වකරුවන්ගෙන් ඉල්ලා සිටියේය.

සංචාරක කර්මාන්තය සහ හෝටල් අංශයේ පාර්ශවකරුවන් සමඟ එක්ව “Destination Sri Lanka” හෙවත් සංචාරක ආකර්ෂණය දිනාගත් රටක් ලෙස ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කිරීම සඳහා විදේශයන්හි කොන්සල්වරුන් සහ නියෝජිතයින්ගේ ජාලයක් ගොඩනැගීමේ අවශ්‍යතාවය අවධාරණය කළේය.

රාජ්‍ය තාන්ත්‍රික සේවයේ නිලධාරීන් ලෝකයේ දේශපාලනික වශයෙන් ද්විපාර්ශ්වික ගැටළු ආශ්‍රිතව ඉතා කාර්යබහුල සන්නිවේදන කටයුතු සිදුකරන බැවින් මෙවැනි සමාන්තර කොන්සල් කාර්යාල පිහිටුවා සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනයට කඩිනම් පියවර ගත හැකි බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

සංචාරකයන්ට සිතැඟි පරිදි විද්‍යුත් ගෙවීම් ක්‍රමවලින් ගෙවීමට පහසුකම් සැලසීමේ ක්‍රමවේදයක් හඳුන්වා දීමට මූල්‍ය අංශය සහ මහ බැංකුව සමඟ එක්ව කටයුතු කිරීමේ හැකියාව කෙරෙහිද අවධානය යොමුකළ යුතුව ඇත. “අපි මේ මොහොතේ ජාත්‍යන්තර ක්‍රෙඩිට් කාඩ්පත් භාවිය දිරිමත් කරනවා සේම, ආසියානු දැවැන්තයන් ලෙස සලකන රටවලින් පැමිණෙන සංචාරකයින්ට තවදුරටත් පහසුකම් සැළසීම හරහා ඔවුන්ගේ පැමිණීම දිරිමත් කළ යුතුයි” යැයි අග්‍රාමාත්‍යවරයා කීය.

ප්‍රාදේශීයව ආහාර නිෂ්පාදනය දියුණු කිරීම සඳහා ප්‍රජාවන් සමඟ සම්බන්ධ වූ හෝටල් පිළිබඳව මෙහිදී අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රශංසාව පළ විය. ඒ වෙනුවෙන් සංචාරක ආකර්ෂණයෙන් යුතු ස්ථාන අවට වෙසෙන ප්‍රජාවට කෙටි කාලීනව වගා කිරීම සඳහා වැඩි ඉඩම් ප්‍රමාණයක් ලබා දීමට ඉඩම් අමාත්‍යවරයා ද වන සංචාරක අමාත්‍යවරයා එකඟ වනු ඇතැයි තමා විශ්වාස කරන බවද අග්‍රාමාත්‍යවරයා වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

මෙම අවස්ථාවට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණී ගුණවර්ධන, ජෙට්වින්ග් සභාපති හිරාන් කුරේ, අභාවප්‍රාප්ත හර්බට් කුරේ මහතාගේ බිරිඳ මැණිකේ කුරේ, අධ්‍යක්ෂ ශිරෝමාල් කුරේ යන මහත්ම මහත්මීන් ඇතුළු හෝටල් ක්ෂේත්‍රයේ ඉහළ පෙළේ නියෝජිතයන් එක්ව සිටියහ.

More articles

Latest article