27 C
Colombo
සඳුදා, මැයි 6, 2024

අය-වැය හිඟය අඩු කර ගැනීම මෙවර අය-වැයේ ඉලක්කයයි – මුදල් අමාත්‍යාංශයේ ලේකම්

Must read

රටේ සංවර්ධනය ශක්තිමත් කිරීම සඳහා සහ අය-වැය හිඟය ප්‍රශස්ත මට්ටමකින් අඩු කර ගැනීම ඉලක්ක කරගෙන මෙවර අය-වැය සකස් කර ඇති බව මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්. ආටිගල මහතා ජනාධිපති කේන්ද්‍රයේ ඊයේ (02) පැවැති මාධ්‍ය හමුවේදී පැවසීය.

2025 වසර වන විට අය-වැය හිඟය සියයට 4 ත් 4.5 මට්ටමට රැගෙන ඒම අපේක්ෂාව බව ලේකම්වරයා කීවේය.

ජලය, මාර්ග සහ වාරිමාර්ග ඇතුළු රජය දියත් කර ඇති සංවර්ධන ව්‍යාපෘති සඳහා මෙවර අය-වැයෙන් වැඩි වශයෙන් පහසුකම් ලබාදෙන බව ආටිගල මහතා කියා සිටියේය.

“ඉදිරි අය-වැය සහ රටේ ආර්ථික තත්ත්වය” තේමා කරගනිමින් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ දී ඊයේ (02) පෙරවරුවේ වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැත්වුණු මාධ්‍ය හමුවේදී විවිධ ක්ෂේත්‍ර ඔස්සේ මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා එසේ ප්‍රකාශ කළේය.

කොවිඩ් වසංගතය නිසා ලෝක ආර්ථිකයට සිදු වූ හානිය සහ ශ්‍රී ලංකාවට වූ බලපෑම යටතේ වුවද රාජ්‍ය සේවක වැටුප් ගෙවීම, සෙසු වියදම් කප්පාදුවකින් තොරව සිදු කිරීම සහ ජන ජීවිතය අඩපණ වීමට ඉඩ නොතබා රජය ක්‍රියාකළ බව එස්.ආර්. ආටිගල මහතා කියා සිටියේය.

රට සාමාන්‍යකරණය වීමත් සමඟ නව ආර්ථික වර්ධනයක් අපේක්ෂා කරන බව මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්. ආටිගල මහතා පැවසීය.

දිගින් දිගටම අය-වැය පරතරය ඉහළ අගයක් ගැනීම රටකට හිතකර තත්ත්වයක් නොවන අතර මෙවර අය-වැයේදී එම පරතරය අඩු කර ගැනීම කෙරෙහි අවධානය යොමු කර තිබෙන බව මුදල් ලේකම්වරයා පෙන්වා දුන්නේය.

More articles

Latest article