28 C
Colombo
සෙනසුරාදා, අප්‍රේල් 27, 2024

ශ්‍රී ලංකාව සහ ආසියානු තාක්ෂණ ආයතනය අතර සබඳතා වර්ධනයට රජයේ අවධානය

Must read

ශ්‍රී ලංකාව, ආසියානු තාක්ෂණ ආයතනය (AIT) සමඟ පවතින සබඳතා තවදුරටත් ඉහළ නංවා ගැනීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු කර තිබේ.

දෙමුහුන් ආකෘතියක් යටතේ 2022 වසරේ ජනවාරි මස 25 වැනි දින පවත්වන ලද තායිලන්ත ආසියානු තාක්ෂණ ආයතනයේ (AIT) භාරකාර මණ්ඩල රැස්වීම අතරතුර, එහි ශිෂ්‍ය සබඳතා කමිටුවේ සමසභාපති ලෙස තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපති සහ යුනෙස්කැප් හි (UNESCAP) නිත්‍ය නියෝජිත සී.ඒ. චාමින්දා අයි. කොළොන්නේ මහත්මිය තේරී පත්වූවාය.

භාරකාර මණ්ඩලයේ සභාපති ආචාර්ය ටොංග්චට් හොංග්ලදරොම්ප් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මේ රැස්වීමට AIT හි සභාපති ආචාර්ය ඊඩ්න් වයි. වූන්, තායිලන්තයේ හිටපු නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ හිටපු අධ්‍යාපන අමාත්‍ය මෙන්ම භාරකාර මණ්ඩලයේ උප සභාපතිවරයකු ද වන ආචාර්ය සුවිට් කුන්කිට්ටි, එම මණ්ඩලයේ අනෙකුත් සාමාජිකයන්, තායිලන්ත විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිත්‍ය නියෝජ්‍ය ලේකම් චුටින්ටෝන් ගොංග්සක්ඩි, බංග්ලාදේශය, කැනඩාව, ප්‍රංශය, ඉන්දියාව, ඉන්දුනීසියාව සහ පාකිස්තානය යන රටවල තානාපතිවරුන් සහ කාම්බෝජය, ලාඕ මහජන ප්‍රජාතාන්ත්‍රික ජනරජය, මැලේසියාව, නේපාලය සහ වියට්නාමය යන රටවල බැංකොක් හි පිහිටි රාජ්‍යතාන්ත්‍රික දූතමණ්ඩලවල නියෝජිතයන් පිරිසක් ද සහභාගි වූහ.

අධ්‍යයන වැඩසටහන් සහ ඉගැන්වීම් කටයුතු, පර්යේෂණ, ව්‍යාප්තිය, ගෝලීයජාල, නව විශ්වවිද්‍යාල හවුල්කාරිත්වයන්, AIT Hub ව්‍යාපෘතිය, AIT හි උපායමාර්ගික කාර්යසාධක බළකාය පුළුල් කිරීම යනාදිය ඇතුළුව 2022 වසර සඳහා වන සැලසුම් මේ මණ්ඩලය මඟින් විස්තරාත්මකව සකච්ඡා කර තිබෙන අතර මාර්ගගත ක්‍රමය යටතේ මේ හමුවට සහභාගි වූ තානාපති කොළොන්නේ මහත්මිය, කොවිඩ් – 19 වසංගතය හේතුවෙන් හටගත් අභියෝග හමුවේ AIT හි අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා AIT හි සභාපති ආචාර්ය ඊඩ්න් වයි. වූන් මහතා දරන දැවැන්ත උත්සාහය පිළිබඳව සිය කෘතඥතාව පළ කළාය.

ශ්‍රී ලංකාවේ නිපුණතා සංවර්ධන අංශය සමඟ පැවැත්විය හැකි හවුල්කාරිත්වයන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ සහ නවෝත්පාදන රාජ්‍ය අමාත්‍යංශය සහ තායිලන්තයේ AIT ආයතනය සමඟ පවත්නා අවබෝධතා ගිවිසුම මෙන්ම, ධාරිතා ගොඩනැඟීමේ දර්ශන විශාරද උපාධි හවුල්කාරිත්ව වැඩසටහන සම්බන්ධයෙන් තායිලන්තයේ AIT ආයතනය සහ ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අතර පවත්නා අවබෝධතා ගිවිසුම නිම කිරීම සඳහා මෑතකදී ගනු ලැබූ පියවර, තානාපති කොළොන්නේ මහත්මිය අවධාරණය කර තිබේ.

More articles

Latest article