27 C
Colombo
සඳුදා, මැයි 6, 2024

විදෙස් විශ්වවිද්‍යාල ශාඛා මෙරට ඇති කිරීමට අවස්ථාව

Must read

වසරකට ඩොලර් බිලියන තුනකට අධික මුදලක් වැය කරමින් ශ්‍රී ලාංකේය සිසු සිසුවියන් විදෙස් විශ්වවිද්‍යාලවලට ඇතුළත් වීම පාලනය කිරීම සඳහා ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත විදෙස් විශ්වවිද්‍යාල ශාඛා මෙරට ඇති කිරීමට අවස්ථාව දිය යුතු බව ජනමාධ්‍ය ඇමැති බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (01) ප්‍රකාශ කළේය.

අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව සඳහන් කළේ අධ්‍යාපන අමාත්‍යාංශය ඇතුළු අමාත්‍යාංශ කිහිපයක වැය ශීර්ෂ සම්බන්ධයෙන් පැවැති විවාදයට සහභාගි වෙමිනි.

එමෙන්ම ලාභ පරමාර්ථ කර නොගත් වෛද්‍ය පීඨ ආදිය ඇති කිරීම සඳහා ද සියලු දෙනාගේ එකඟතාවයෙන් යුතු පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුව විසින් සම්මත කළ යුතු බවටද තමන් යෝජනා කරන බවද ඇමැතිවරයා පැවසීය.

මෙරට සිසු සිසුවියන් විශාල පිරිසක් වාර්ෂිකව විශාල මුදලක් වැය කරමින් විදෙස් විශ්වවිද්‍යාලවලට ඇතුළත් වන අතර, රට තුළ ඩොලර් අර්බුදයක් ඇති අවස්ථාවක මෙය ගැටලුවක් බවද ඇමැතිවරයා කීය. විදෙස් විශ්වවිද්‍යාලවලට ඇතුළත් වන ශ්‍රී ලාංකික සිසු සිසුවියන්ගේ සංඛ්‍යාව අඩු කිරීමට නම් අපි කැමැති වුවත් නැතත් විදෙස් විශ්වවිද්‍යාල ශාඛා මෙරට ඇති කිරීම සිදු කළ යුතු ම බව ඇමැතිවරයා කීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේ අධ්‍යාපනයේ රැඩිකල් වෙනසක් සඳහා ජාතික එකඟතාවක් ඇති කර ගත යුතු බවයි. මේ වන විට පුද්ගලික අධ්‍යාපන ආයතන බොහොමයක් විදේශීය විශ්වවිද්‍යාල සමඟ එක්ව පෞද්ගලික උපාධි ලබා දෙන අතර, මෙම ආයතන රජය මඟින් කිසිදු නියාමනයකට යටත් නොවන බවද ජනමාධ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. ඉන්දියාව බංග්ලාදේශය, නේපාලය වැනි රටවල අධ්‍යාපනය ලබන සිසුන් ප්‍රමාණය මෙම වසරේ ඉහළ ගොස් ඇති අතර, අධ්‍යාපනය සඳහා සිසුන් බොහෝ ප්‍රමාණයක් විදේශගත වන බවද කීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මෙසේද පැවසීය.

අධ්‍යාපනය පිළිබඳ ඉතිහාස කරුණු නෙවෙයි, අද උදෑසන ජනාධිපතිවරයා හා මහජන නියෝජිතයින් විසින්ද සිදු කරන ලද යෝජනාවක් සම්බන්ධයෙන් මමද අවධානය යොමු කරනවා. පසුගිය කාලයේදී අපේ රටේ දරුවන්ගෙන් වසරකට විශාල පිරිසක් වර්ෂයකට ලක්ෂ තිස්දහසක් විතර ශිෂ්‍ය වීසා ලබා ගන්නවා. දේශීය අධ්‍යාපනය පිළිබඳව තිබෙන විශ්වසනීයත්වය පලුදු වීම, ඒ සඳහා තිබෙන බාධාවනුත් නිසා ඔවුන් දහ අතේ ණය වී, තමන්ගේ මව්පියන්ගේ දේපළ උකස් කරලා දරුවො විදෙස් විශ්වවිද්‍යාලවලට යවනවා. රාජ්‍ය විශ්වවිද්‍යාලවලට ඇතුළු වන පිරිසට වඩා වැඩි පිරිසක් විදෙස් විශ්වවිද්‍යාලවලට ඇතුළු වෙනවා. මේ සඳහා වර්ෂයකට ඇ‍ෙමරිකානු ඩොලර් බිලියන තුනකට වැඩි මුදලක් වැය වෙනවා. දැවැන්ත මූල්‍ය අර්බුදයක් තිබෙන රටක් ලෙස මෙවැනි විශාල මුදලක් විදෙස් විශ්වවිද්‍යාල වෙනුවෙන් ගෙවන්නට සිදුවීම ගැටලුවක්. නිල මාර්ගවලට අමතරව උන්ඩියල් වැනි ක්‍රමවේදවලටත් මුදල් යවන්නට කටයුතු කරනවා. මේ ආකාරයට යන ලාංකීය දරුවන්ට විදෙස් රටවලදී සිදුවන දේවල් ගැන කතා කරන්න කවුරුත් නැහැ. විශේෂයෙන්ම

කොවිඩ් තත්ත්වය යටතේ විවිධ ප්‍රශ්න වුණා. මේ හරහා ඇති නැති පරතරය විශාල ලෙස ඇති වෙනවා. උසස් තනතුරු දරන අය, දේශපාලකයෝ ඇතුළු බොහෝ පිරිසක් තමන්ගේ දරුවෝ විදේශ විශ්වවිද්‍යාලවලට ඇතුළු කරන්නට උත්සාහ කරනවා. සති අන්ත පුවත්පත්වල මේ වගේ වෙළෙඳ දැන්වීම් බොහෝ විට අපට දකින්නට ලැබෙනවා.

More articles

Latest article