28 C
Colombo
ඉරිදා, මැයි 5, 2024

වරායේ හිරවූ කෝටි දෙකක ඇපල් සත්වෝද්‍යානයට

Must read

ආනයනකරුවන් ඉදිරිපත් නොවීම හේතුවෙන් මෙතෙක් වරායේ කන්ටේනරයක තිබූ ඇපල් කිලෝ 24,000ක් සත්වෝද්‍යානයේ සතුන්ගේ ආහාර සඳහා නිකුත් කිරීමට වරාය ඇමැතිවරයා තිරණය කර තිබේ.

ඒ අනුව ඇපල් තොගය සත්වෝද්‍යානයට භාර දීම වරාය, නාවික හා ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (10) සිදු කෙරුණි.

කොළඹ අන්තර්ජාතික බහාලුම් පර්යන්තයේ (CICT) තිබූ මෙම ඇපල් කන්ටේනරය පසුගිය පෙබරවාරි මාසයේ චීනයෙන් මෙරටට ආනයනය කර ඇත.

එය වරායෙන් නිදහස් කර ගැනීමට ආනයනකරුවන් මෙතෙක් පියවර නොගැනීම පිළිබඳ තමන්ට වාර්තා වූ පසුව ඒ පිළිබඳ සොයා බලා, වරාය, රේගුව හා සී.අයි.සී.ටී යන ආයතන සමඟ සාකච්ඡා කර මෙම ඇපල් තොගය සත්වෝද්‍යානයට ලබා දීමට පියවර ගත් බව අමාත්‍යවරයා පැවැසීය.

වරායේ මෙලෙස රඳවා ගෙන ඇති ආහාර හෝ වෙනත් ද්‍රව්‍ය විනාශ වීමට ඉඩ නොතබා කිසියම් ඵලදායි කාර්යයකට යොදා ගැනීමට පියවර ගත යුතුව ඇතැයි ද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

මෙම බහාලුම තුළ ඇපල් කිලෝ ග්‍රෑම් 24,000ක්, එනම් ඇපල් ගෙඩි ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් ඇතැයි සමාගමේ ප්‍රධානී ජැක් හොන්ග් (Jack Huang) මහතා ද එහිදී පැවැසීය.

මෙහි දළ වටිනාකම රුපියල් කෝටි දෙකකට ආසන්න වන බව වරාය අධිකාරියේ අධ්‍යක්ෂ ප්‍රභාත් ජයන්ත මහතා පෙන්වා දුන්නේය.

මෙම ඇපල් තොගය දෙහිවල සත්වෝද්‍යානයට ප්‍රවාහනය කරදීමට සීඅයිසීටී පර්යන්තය සහ වරාය අධිකාරිය එකඟ විය.

මෙම අවස්ථාවට අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.එස්. රුවන්චන්ද්‍ර මහතා ද වරාය අධිකාරියේ සභාපති ආචාර්ය ප්‍රසන්ත ජයමාන්න මහතා උප සභාපති ගයාන් අලගියවත්තගේ මහතා සත්වෝද්‍යානයේ අධ්‍යක්ෂ වෛද්‍ය ආර්.සී.රාජපක්ෂ මහතා සහ රේගු නිලධාරීහු ද සහභාගි වූහ.

More articles

Latest article