32 C
Colombo
සෙනසුරාදා, මැයි 4, 2024

රටේ සෑම දෙනාටම යුක්තිය එකක් විය යුතුයි – කාදිනල් හිමි

Must read

ජනාධිපතිගෙ සිට පාර අතුගාන තැනැත්තා දක්වා හැමකෙනකුටම යුක්තිය එකක් විය යුතු යැයි කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පැවසූහ.

කෝට් අඳින මහත්වරුන්ට එක නීතියකුත් පාරේ වැඩ කරන මනුස්සයාට එක නීතියකුත් තියෙන්න බෑ, අපට ආණ්ඩු පෙරළන්න ඕනෑ නැහැ. අපට ඕනෑ යුක්තිය බවද උන්වහන්සේ පැවසූහ.

උන්වහන්සේ එසේ පැවසුවේ පාස්කු ඉරිදා ප්‍රහාරයේ වින්දිතයන් වෙත පාප්වහන්සේ ප්‍රදානය කළ යුරෝ ලක්ෂයක මුදලෙන් පළමු කොටස කටුවපිටිය ශුද්ධ වූ සෙබස්තියන් මුනිඳුන්ගේ දේවස්ථානයේදී ‍පෙරේදා (13) ප්‍රදානය කරමිනි.

එම අවස්ථාවට පාප් වහන්සේගේ නිත්‍ය නියෝජිත හිමිපාණෝ ද සහභාගි වූහ.

තවදුරටත් අදහස් දැක්වූ කාදිනල් හිමිපාණෝ මෙසේද පැවසූහ.

“අපට ඉතා නරක සම්ප්‍රදායක් තියෙනවා. ඒ ඕනෑම දෙයක් සුමාන දෙකකින් අමතක කර දාන එක.

“මෙරට නූතන ඉතිහාසයේ සිදු වූ මිනිමැරීම්, කිසිවක් පිළිබඳ හරියාකාර විමර්ශනයක් කර නැහැ. විමර්ශනය කරන්න ඉඩ දීලත් නැහැ. පාස්කු ඉරුදින ප්‍රහාරයටත් වෙලා තියෙන්නේ ඒ දේමයි. නීතිය පිළිබඳ ආයතන ස්වාධීන වෙන්න ඕනෑ. පොලිසිය ස්වාධීන වෙන්න ඕනෑ. දේශපාලන බලපෑම්වලට පොලිසිය යට වෙන්න් බැහැ. ජනතාවට යුක්තිය ඉෂ්ට වෙන්න නම් අපේ දැනට පවතින ක්‍රමවේදය වෙනස් විය යුතුයි.

“අපට අවශ්‍ය යුක්තියයි. පාලකයන් ගෙන් ඉල්ලා සිටින්නේ කරුණාකර විනිවිදභාවයකින් යුක්තිය පසඳලීමේ වැඩපිළිවෙළකට රට ගෙනියන්න කියායි.

“යුක්තිය සාධාරණත්වය ඉෂ්ට වන තුරු මේ අරගලය දිගටම නිරත වෙනවා.”

More articles

Latest article