28.9 C
Colombo
බදාදා, මැයි 1, 2024

සිවිල් ගුවන් සේවා අධිකාරියට නව සභාපතිවරයෙක්

Must read

ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ උප සභාපතිවරයා වශයෙන් කටයුතු කළ ජී.එස්. විතානගේ මහතා එම අධිකාරියේ නව සභාපතිවරයා වශයෙන් පත්කර ඇත.

නව සභාපතිවරයා ලෙස අධිකාරියේ දී ඒ මහතා ඊයේ (18) වැඩ භාර ගන්නා ලද අතර, කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වන විතානගේ මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙකි.

කොළඹ විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳ පශ්චාත් උපාධිය ලබා ඇති ඒ මහතා, 1984 වසරේ දී රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ සහකාර අධ්‍යක්ෂවරයකු ලෙස රාජ්‍ය සේවයට එක්ව තිබේ.

ලංකා සීනි සංස්ථාව, රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය, ජනමාධ්‍ය, සංචාරක, ගුවන් සේවා, ප්‍රවාහන සහ මහා මාර්ග යන දෙපාර්තමේන්තු හා අමාත්‍යාංශ රැසක සේවය කර ඇති ඒ මහතා පුනරුත්ථාපන, බන්ධනාගාර සහ නැවත පදිංචි කිරීම්, විදේශ රැකියා, ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශවල ලේකම්වරයෙක් ලෙස ද ශ්‍රී ලන්කන් ගුවන් සේවය හා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව යන ආයතනවල සභාපතිවරයෙක් ලෙසත් කොමිෂන් සභා කීපයක සභාපතිවරයෙක් ලෙසත් උසස් නිලතල හොබවමින් රාජ්‍ය ආයතන රැසක වසර 37කට අධික දීර්ඝකාලීන අත්දැකීම් ලබා ඇති කීර්තිමක් රාජ්‍ය නිලධාරියකු වෙයි.

වරාය, නාවික සහ ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා, අමාත්‍යාංශ ලේකම් කේ. ඩී. එස්. රුවන්චන්ද්‍ර, සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂ ජනරාල් සහ ප්‍රධාන විධායක නිලධාරි පී. ඒ. ජයකාන්ත, ඇමැතිවරයාගේ පෞද්ගලික ලේකම් නීතිඥ අකිල ගයාන්, උපදේශක ඒ. ද ඩී. එස්. ඉන්ද්‍රසේකර මහත්වරුන්ද, ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ විධායක නිලධාරීන් ඇතුළු කාර්ය මණ්ඩලයේ පිරිසක් ද මේ අවස්ථාවට එක්වූහ.

More articles

Latest article