32 C
Colombo
සෙනසුරාදා, මැයි 4, 2024

මේ වෙලාවෙ මැතිවරණ පැවැත්වීම සුදුසු නෑ – ජ්‍යෙෂ්ඨ මහාචාර්ය චන්දන උඩවත්ත

Must read

ආර්ථිකමය වශයෙන් රට යම් ස්ථාවර තත්ත්වයකට පත්වෙන තෙක් මැතිවරණයක් පැවැත්වීම සුදුසු නැතැයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ උප සභාපති, සබරගමු විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය චන්දන උඩවත්ත මහතා පැවසීය.

මැතිවරණ නිසි කාලසීමාවල පැවැත්විය යුතු වුවත් මේ අසීරු අවස්ථාව මඟහැර ගන්නා තෙක් මැතිවරණ පැවැත්වීම යම් කාලසීමාවකට හෝ කල් දැමිය යුතු බව ද ඒ මහතා ‘දිනමිණ’ට ඊයේ (09) පැවසීය.

රට තුළ මේ මොහොතේ පවතින ආර්ථික පසුබෑමත් සමඟ මැතිවරණ සඳහා විශාල මුදලක් වැය කළ හොත් ආර්ථිකයේ කඩා වැටීමකට එය හේතුවක් විය හැකි බවද උඩවත්ත මහතා කීවේය.

මැතිවරණ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක්. නමුත් මැතිවරණයක් පැවැත්වීමට වුවද රට ආර්ථිකමය වශයෙන් ශක්තිමත් විය යුතු බව පෙන්වා දුන් ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයා, පක්ෂ විපක්ෂ සියලු දෙනා එක්ව ආර්ථිකය ශක්තිමත් කිරීමට අවශ්‍ය සහයෝගය ලබා දිය යුතු බව සඳහන් කළේය.

පසුගිය කාලයේ විවිධ පෝලිම්වල දින ගණන් දුක් විඳීමට ජනතාවට සිදු වුණු බවත් මැතිවරණ සඳහා මුදල් යෙදවීමෙන් නැවතත් එවැනි යුගයක් උදාවුණ හොත් ඉන් දුක් විඳින්න සිදු වන්නේ ජනතාවට බවත් උඩවත්ත මහතා පැවසීය.

කොවිඩ් වසංගතය වගේම පසුව ආව ආර්ථික අර්බුදය නිසා ආර්ථිකමය වශයෙන් අපට විශාල පසුබෑමකට ලක් වෙන්න සිදු වුණා. ආයෝජන නැති වුණා. සංචාරකයන්ගේ පැමිණීම අඩු වුණා. විවිධ ව්‍යාපෘති නතර කරන්න සිදු වුණා. ජීවන බර විශාල ලෙස ඉහළ ගියා. දවස් ගණන් පෝලිම්වල දුක් විඳින්න සිදු වුණා. මේ තත්ත්වය තරමක් හරි දැන් සමනය වෙමින් තිබෙනවා. රටකට මැතිවරණ අවශ්‍යයි. එය හැමදාම කල් දාන්න හරි නොතිය ඉන්න හරි කියනව නෙවෙයි. මේ වෙලාවේ රටේ තත්ත්වය ගැන හිතලා යම් කාලසීමාවකට හරි කල් දැම්ම නම් හොඳයි කියන එකයි මගේ පෞද්ගලික මතය. රට ස්ථාවරයකට ආවට පස්සේ සියලු මැතිවරණ එක දිගට වුවත් පැවැත්විය හැකියි. යැයි ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

More articles

Latest article