27.2 C
Colombo
සෙනසුරාදා, මැයි 18, 2024

මෙරට වන ආවරණය 16%කට අඩු වෙලා නෑ – වන සංරක්ෂක ජනරාල්

Must read

ශ්‍රී ලංකාවේ වන ආවරණය 16%ක් දක්වා අඩු වී ඇති බවට පළ වන මාධ්‍ය වාර්තා අසත්‍ය බව වන සංරක්ෂක ජනරාල් කේ.එම්.ඒ. බණ්ඩාර මහතා සඳහන් කළේය.

අදාළ මාධ්‍ය වාර්තා පිළිබඳ ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම් කාර්යාලය කළ විමසීමකදී වන සංරක්ෂක ජනරාල්වරයා මේ බව අවධාරණය කළේය.

වන ආවරණය පිළිබඳ තක්සේරුව සිදු කරනු ලබන්නේ වසර පහකට වරක් වන අතර, 2020 වර්ෂයේ සිදු කළ සංගණනය මෙම වසරේ ජුනි මාසයේදී අවසන් කිරීමට නියමිත අතර 2015 වර්ෂයේ දී සිදු කළ සංගණනයට අනුව ශ්‍රී ලංකාවේ ස්වාභාවික වනාන්තර මුළු භූමි ප්‍රමාණයෙන් 29.15%ක් (හෙක්ටයාර් 1,912,970) වූ බවත් බණ්ඩාර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

රට තුළ ක්‍රියාත්මක වන නොයෙකුත් සංවර්ධන කටයුතු සහ වෙනත් මානව ක්‍රියාකාරකම් නිසා වනාන්තර ප්‍රමාණයේ යම් අඩු වීමක් සිදුව ඇති නමුත් මාධ්‍ය වාර්තාවල සඳහන් පරිදි වනාන්තර ප්‍රමාණය 16%ක් දක්වා අඩු වීමක් කිසිසේත් සිදු වී නොමැති බව ද වන සංරක්ෂක ජනරාල්වරයා පැවසීය.

මාධ්‍ය වාර්තා අනුව අද වන විට ශ්‍රී ලංකාවේ වනාන්තර ප්‍රමාණය මුළු භූමි ප්‍රමාණයෙන් 16%ක් නම් රටෙහි පවතින වනාන්තර ප්‍රමාණය හෙක්ටයාර 1,040,000 විය යුතු බවත්, එනම් 2015 සිට වසර හත තුළ වනාන්තර හෙක්ටයාර 872,970ක් විනාශ වී තිබිය යුතු බවත් පෙන්වා දෙන ඒ මහතා එය දිනකට හෙක්ටයාර 341ක් වන අතර, වසරකට හෙක්ටයාර 124,710ක වන විනාශයක් විය යුතු බව ද සඳහන් කළේය.

වනාන්තර පිළිබඳ දත්ත ඉදිරිපත් කිරීමේ දී වනාන්තර තක්සේරු කරන ලද ආකාරය විස්තර කළ යුතු අතර එහිදී වනාන්තර නිර්වචනය, වනාන්තර ප්‍රමාණය තක්සේරු කිරීමේ ක්‍රමවේදය, වනාන්තර ප්‍රමාණය තක්සේරුව යන මූලික කරුණු දැක්විය යුතු වුවත් වන ආවරණය අඩු වී ඇති බව සඳහන් කර තිබූ මාධ්‍ය වාර්තාවල අදාළ දත්ත ලබා ගත් කිසිදු මූලාශ්‍රයක් දක්වා නොමැති බවත් වන සංරක්ෂක ජනරාල්වරයා පෙන්වා දුන්නේය.

තවද මාධ්‍ය වාර්තාවල දැක්වෙන අන්දමේ විශාල වන විනාශයක් සිදු වේ නම් එය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා පොලිසිය මෙන්ම ගුවනින් වනාන්තර නිරීක්ෂණය කරන ශ්‍රී ලංකා ගුවන් හමුදාව ආදී ආයතන මඟින් නිරීක්ෂණය කළ යුතුය. නමුත් මෙවැනි විශාල වන විනාශයන් මෙම කිසිම ආයතනයක් වෙත වාර්තා වී නොමැත. තවද වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වනාන්තර සිතියම් යාවත්කාලීන කරමින් සිටින බවත් එම කටයුතුවලදී ද මෙවැනි වන විනාශයක් නිරීක්ෂණය වී නොමැති බවත් වන සංරක්ෂක ජනරාල්වරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

More articles

Latest article