34 C
Colombo
සඳුදා, මැයි 6, 2024

ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහාය දීමට ඊජිප්තුව සහතික වෙයි

Must read

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහයෝගය දෙන බවට ඊජිප්තුව සහතික වෙයි.

ශ්‍රී ලංකාවේ නව ඊජිප්තු තානාපති මගේඩ් මොස්ලේ මහතා කොළඹ පිහිටි විදේශ කටයුතු අමාත්‍යාංශයේදී විදේශ කටයුතු ඇමැති මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා හමු වූ අවස්ථාවේ මේ බව සඳහන් කළේය.

තානාපති මොස්ලේ මහතා උණුසුම් ලෙස පිළි ගත් ඇමැති ජී. එල් පීරිස් මහතා තානාපතිවරයා මෙරට සේවයේ නිරත වන කාලයේ ඔහු සමඟ සමීපව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව ප්‍රකාශ කළේය. ඇමැතිවරයා සහ තානාපතිවරයා දෙරට අතර පවත්නා බහුවිධ ද්විපාර්ශ්වික සහයෝගීතාව සම්බන්ධයෙන් පුළුල් සාකච්ඡා පැවැත්වූ අතර, ගෝලීය වශයෙන් වැදගත් වන සමකාලීන ගැටලු පිළිබඳව ද අදහස් හුවමාරු කර ගත්හ. ප්‍රතිසන්ධානය සහ මානව හිමිකම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය ලබා ඇති ප්‍රගතිය පිළිබඳව ද ඇමැතිවරයා තානාපතිවරයා දැනුම්වත් කළේය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 49වැනි සැසි වාරයේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පැවති අන්තර් ක්‍රියාකාරී සංවාදයේදී ශ්‍රී ලංකාවට සහාය දැක්වීමට ඊජිප්තු ජනරජය මැදිහත් වීම සම්බන්ධයෙන් ඇමැතිවරයා ඊජිප්තු තානාපතිවරයාට සිය ප්‍රසාදය පළ කළේය. බහුපාර්ශ්වික සංසද හමුවේ දෙරට අතර පවත්නා ද්විපාර්ශ්වික සහයෝගීතාව ඒ මහතාගේ ඇගයීමට ලක් විය. 51වැනි සැසි වාරය සඳහා ශ්‍රී ලංකාවේ ඇති සූදානම පිළිබඳව ද ඇමැතිවරයා මෙහිදී සාකච්ඡා කළේය.

මානව හිමිකම් කවුන්සිලයේ 51වැනි සැසියේදී ඊජිප්තුවේ සහයෝගය ශ්‍රී ලංකාවට අඛණ්ඩව දෙන ලෙස ඇමැතිවරයා තානාපතිවරයාගෙන් ඉල්ලා සිටියේය. එළැඹෙන 51 වැනි සැසි වාරය ඇතුළුව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ඊජිප්තුවේ අඛණ්ඩ සහයෝගය ශ්‍රී ලංකාවට දෙන බව තානාපති මගේඩ් මොස්ලේ මහතා තහවුරු කළේය.

විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීහු සහ කොළඹ පිහිටි ඊජිප්තු තානාපති කාර්යාලයේ නිලධාරීහු මේ සාකච්ඡාවට සහභාගී වූහ.

More articles

Latest article