28 C
Colombo
බ්‍රහස්පතින්දා, මැයි 2, 2024

මෙරට වත්මන් ආර්ථිකය ස්ථාවර කිරීම ගැන සොයා බැලිය හැකි බව ඉන්දියාව පවසයි

Must read

සංචාරක ව්‍යාපාරය සහ ආයෝජන අවස්ථා ඇසුරෙන් ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික තත්ත්වය ස්ථාවර කිරීමට ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සොයා බැලීමට හැකියාව පවතින බව ඉන්දියාව ප්‍රකාශ කරයි.

ඉන්දියාවේ විදේශ කටයුතු ඇමැති ආචාර්ය එස්. ජායිශංකර් සහ ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහත්වරුන් අතර ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී පෙරේදා (20) පැවති සාකච්ඡාවේදී මේ බව අනාවරණය විය.

ශ්‍රී ලංකා ආර්ථීකය ස්ථාවර කිරීමට සහ යථා තත්ත්වයට පත් කිරීම උදෙසා වූ ඉන්දීය ආධාර වැඩපිළිවෙළ පිළිබඳව සාකච්ඡා කර තිබෙන අතර, එහි දී කරුණු ගණනාවක් සම්බන්ධයෙන් ද්වි-පාර්ශ්වික අදහස් හුවමාරුවක් සිදු විය.

මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා ශ්‍රී ලංකාවේ වත්මන් ස්වාභාවය පිළිබඳව ඇමැති ජයිශංකර් මහතාට විස්තර කළ අතර, අත්‍යවශ්‍ය භාණ්ඩ සහ ඉන්ධන සඳහා ණය සැපයුමට ශ්‍රී ලංකාවට දී ඇති සහය අඛණ්ඩව කරගෙන යෑමට ඉන්දීය රජයේ මැදිහත්වීම පිළිබඳව ඔහුට ස්තූති කළේය. අන්තර්ජාතික මුල්‍ය අරමුදලේ ණය වැඩසටහන ක්‍රියාත්මක වන තුරු මේ ආධාර සැපයුම අත්‍යවශ්‍ය සේවා පවත්වා ගෙන යෑමට ඉවහල් වී ඇති ආකාරය ද පැහැදිලි කළේය.

අන්තර්ජාතික මූල්‍ය අරමුදල, අනෙකුත් බහු-පාර්ශ්වික ආයතන සහ ද්වි-පාර්ශ්වික සංවර්ධන හවුල්කරුවන් සමඟ එකතු වී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කටයුතු කිරීමට ඉන්දියාව ගත් තීරණය ද ඔහු අගය කළේය. සංචාරක ව්‍යාපාරය සහ ආයෝජන ඇතුළුව ශ්‍රී ලංකා ආර්ථිකය ස්ථාවර කිරීමට ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව සොයා බැලීමට හැකි බවට ඇමැති ජෙයශංකර් මහතා මෙහිදී ඉන්දීය මහ කොමසාරිස්වරයාට විශ්වාසය පළ කළේය. පවතින වාතාවරණය මැද දෙරට අතර සම්බන්ධතා අඛණ්ඩව පවත්වාගැනීමේ වැදගත්කම ද විදේශ ඇමැතිවරයා මෙහි දී සිහිපත් කළේය.

ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී විනේ ක්වාත්‍රා ඇතුළු ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ සහ නවදිල්ලි නුවර ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු මේ හමුවට සහභාගි වූහ. ඉන්දීය පාර්ලිමේන්තුවේ උපදේශක කාරක සභා රැස්වීම විදේශ කටයුතු ඇමැති ජයිශංකර්ගේ ප්‍රධානත්වයෙන් ඉකුත් 18 වැනිදා පැවති අතර, දුෂ්කර අවස්ථාවේ ශ්‍රී ලංකාවට අවශ්‍ය ආධාර සැපයීම පිළිබඳ ඒකමතික සහයෝගය එහි දී ප්‍රකාශ වී තිබේ.

More articles

Latest article