29 C
Colombo
සෙනසුරාදා, අප්‍රේල් 27, 2024

ජාතික ජනසභා ලේකම් කාර්යාලයට කැබිනට් අනුමැතිය

Must read

සහභාගිත්ව ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම සඳහා ජාතික ජනසභා ලේකම් කාර්යාලයක් පිහිටුවීමට රජය තීරණය කර ඇත. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ සම්බන්ධයෙන් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබුණු බව කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (18) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී පැවසීය.

හිටපු කථානායක කරු ජයසූරිය මහතා සහ ප්‍රවීණ මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතා ඇතුළු නියෝජිත කණ්ඩායමක් ජනසභා පිහිටුවීම පිළිබඳ ඉදිරිපත් කළ කරුණු කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ බවද, විශේෂයෙන්ම ජාති, ආගම්, කුල සහ දේශපාලන භේදයන්ගෙන් තොරව ගමේ ජනතාවගේ ගැටලු ගම් මට්ටමෙන් විසඳා ගැනීම සඳහා සෑම ග්‍රාමසේවා වසමකම ජනතා සහභාගීත්වය සහිත ජනසභා පිහිටුවීමට යෝජනා කෙරුණු බවද අගමැතිවරයා සඳහන් කළේය.

ගම වශයෙන් සමඟියෙන් රැස්වී ගමේ පවතින අඩුපාඩු, දුර්වලතා සහ ප්‍රශ්න නිසි ලෙස හඳුනා ගනිමින් ගැටලුවලට විසඳුම් ලබා ගැනීමට මෙමඟින් අවස්ථාව ලැබෙන බවද කීවේය.

ශ්‍රී ලංකාවේ මේ දක්වා ක්‍රියාත්මක වන නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයන් මඟින් සැබෑ ජනතා ප්‍රශ්න ප්‍රමාණවත් ලෙස ආමන්ත්‍රණය නොවන බවත්, මේ ක්‍රමයෙන් පාලන කේන්ද්‍රය සහ ජනතාව අතර පවතින සම්බන්ධතාව දුරස් වෙමින් පවතින බවත්, ප්‍රතිපත්ති තීරණ ගැනීමේ ක්‍රියාවලියේදී මහජන අදහස්වලට ප්‍රමාණවත් සවන්දීමක් සිදු නොවන බවටත් එල්ල වී ඇති විවේචන හේතුවෙන් නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිව අදහස් හා විරෝධතා මතුවෙමින් පවතින බව පෙනී ගොස් ඇත. එයට විසඳුමක් වශයෙන් සහභාගීත්ව ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම සඳහා ජාතික ජනසභා ලේකම් කාර්යාලයක් පිහිටුවීමට රජය තීරණය කර ඇත.

More articles

Latest article