27 C
Colombo
සෙනසුරාදා, අප්‍රේල් 27, 2024

නෙළුම් කුලුන අද සිට විවෘතයි

Must read

දකුණු ආසියාවේ උසම සන්නිවේදන කුලුන ලෙස සැලකෙන ‘නෙළුම් කුලුන’ අද (15) ජනතාවට විවෘත කිරීමට පෙර ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය ඇමැති දිලුම් අමුණුගම මහතාගේ නිරීක්ෂණයට ඊයේ (14) ලක් වූ අයුරු. මේ අවස්ථාවට කලම්බු ලෝටස් ටවර් පෞද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි, මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ මහතා සහ නිලධාරීහු ද එක්ව සිටියහ.

දකුණු ආසියාවේ උසම සන්නිවේදන කුලුන ලෙස සැලකෙන ‘නෙළුම් කුලුන‘ අද (15) පස්වරු 2 සිට ජනතාවට විවෘත කෙරේ.

ඒ අනුව සතියේ සෑම දිනකම පස්වරු 2.00 සිට රාත්‍රි 10.00 දක්වා නෙළුම් කුලුන විවෘතව තැබෙන අතර, සති අන්තයේ සහ රජයේ නිවාඩු දිනයන්හීදි දහවල් 12.00 සිට රාත්‍රි 10.00 දක්වා නැරඹීමට අවස්ථාව සලසා තිබේ.

පාසල් දරුවන් සඳහා පෙරවරු 9.00 සිට දහවල් 2.00 දක්වා කාලය තුළ නෙළුම් කුලුන නැරඹීමට කාලය වෙන් කර ඇති අතර, ඒ අනුව පාසල් දරුවකුගෙන් රුපියල් 200ක මුදලක් පමණක් අය කිරීමට තීරණය කර තිබේ.

ඒ සඳහා පාසල් මට්ටමින් ඉල්ලීමක් කරන ලෙසත් එසේ ඉල්ලීම් කළහොත් සැලසුමකට අනුව කාලය දීමට හැකිවනු ඇති බවත් කලම්බු ලෝටස් ටවර් පෞද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි, මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ මහතා පැවසීය.

කුමන මුදලක ප්‍රවේශ පත්‍රයක් මිලදී ගත්තද විවෘත අවකාශය තුළ රැඳී සිටිය හැක්කේ උපරිම විනාඩි 30ක පමණ කාලයක් පමණක් බවත් අනිත් ප්‍රදේශයන්හි අවශ්‍ය කාලයක් රැඳී සිටිය හැකි බවත් ප්‍රසාද් සමරසිංහ මහතා කියා සිටියේය.

ප්‍රවේශ පත්‍ර දිනකට නිකුත් කරනුයේ 1,500ත් 2,000ත් අතර පිරිසකට බව පැවසූ ඒ මහතා වෙබ් සයිඩ් හා සමාජ මාධ්‍ය හරහා දිනක අලෙවි වී ඇති ප්‍රවේශ පත්‍ර සංඛ්‍යාව පිළිබඳ වරින් වර දැනුම්වත් කිරීමට පියවර ගන්නා බව පැවසීය.

වයස අවුරුදු 10න් පහළ දරුවන් වෙනුවෙන් මිලදී ගත යුත්තේ රුපියල් 200ක ප්‍රවේශ පත්‍රයක් පමණක් බවත් රුපියල් 2,000ක මිලකින් යුත් ප්‍රවේශ පත්‍ර මේ වන තෙක් නිකුත් කර නැති අතර, එම ප්‍රවේශ පත්‍ර QR කේතයෙන් ඔන් ලයින් හරහා වෙන් කර ගත හැකි බවත් සමරසිංහ මහතා කීවේය.

කිසිම ප්‍රවේශ පත්‍රයක් කලින් නිකුත් කර නැති බවත් අද දිනයේ සිට ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමට පියවර ගන්නා අතර, ඕනෑම දෙයක් කිරීමේදී එය විවේචනය කිරීමට පිරිසක් බලාගෙන සිටින බවත් ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය ඇමැති දිලුම් අමුණුගම මහතා පැවසීය.

දෙසැම්බර් මස ඉකුත් වන විට රජයට බරක් නොවන අයුරින් නෙළුම් කුලුන පවත්වාගෙන යෑමට පියවර ගන්නා බව රාජ්‍ය ඇමැතිවරයා කීවේය.

සංගීත සංදර්ශන, ආහාර ප්‍රදර්ශන, විනෝද මේලා, පිනුම් සංදර්ශන ඇතුළු ප්‍රදර්ශන රැසක් මෙහිදී දැක බලා ගැනීමට අවස්ථාව සලසා ඇති බවද ප්‍රසාද් සමරසිංහ මහතා පැවසීය.

ජනතාව වෙත විවෘත කෙරෙන නෙළුම් කුලුනෙහි නිරීක්ෂණ චාරිකාවකට ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය ඇමැති දිලුම් අමුණුගම මහතා ඊයේ (14) එක්ව සිටියේය.

More articles

Latest article