28.9 C
Colombo
බ්‍රහස්පතින්දා, මැයි 2, 2024

මහින්දට-ගෝඨාභයට සම්බාධක දැමූ කැනඩාවේ තීරණයට ශ්‍රී ලංකාවේ අප්‍රසාදය

Must read

හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ මහත්වරුන් ඇතුළුව ශ්‍රී ලාංකිකයන් සිවුදෙනෙකුට සම්බාධක පැනවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව, කැනේඩියානු රජය වෙත දැඩි අප්‍රසාදය පළ කර තිබේ.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු විමසා නිල වශයෙන් ශ්‍රී ලංකාවේ ස්ථාවරය දැනුම්දීමට ශ්‍රී ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස්වරයා ඊයේ (11) විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත කැඳවූ අතර, එහිදී ශ්‍රී ලංකා විදේශ ඇමැති අලි සබ්රි මහතා විසින් අදාළ සිදුවීම පිළිබඳව අප්‍රසාදය පළ කළේය.

ඒ අනුව මෙවැනි සුවිශේෂී අවස්ථාවක මෙලෙස කටයුතු කිරීම හරහා ද්වීපාර්ශ්වික මිත්‍රත්වයට දැඩි බලපෑම් එල්ලවන බව පෙන්වාදුන් ශ්‍රී ලංකා විදේශ ඇමැතිවරයා මෙය අන්තවාදී දෙමළ ඩයස්පෝරාව සතුටු කිරීමට කැනඩාව ගත් උත්සාහයක් බවද ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයේ අප්‍රසාදය පළකරන බවද ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ මහත්වරු ඇතුළු ශ්‍රී ලාංකිකයන් සිවුදෙනෙකුට එරෙහිව සම්බාධක පැනවීමට තීරණය කළ බවට කැනේඩියානු රජය පෙරේදා (10) නිවේදනය කර තිබෙන අතර ඒ අනුව මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ මහත්වරුන්ට අමතරව ශ්‍රී ලංකා යුද හමුදාවේ මාණ්ඩලික සැරයන් සුනිල් රත්නායක සහ ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි මහත්වරුන්ට එරෙහිව සම්බාධක පනවන බවට සඳහන් කර තිබේ.

ශ්‍රී ලංකාවේ සන්නද්ධ ගැටුම් පැවති 1983 සිට 2009 දක්වා කාලයේ සිදු කළ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් හේතුවෙන් මේ සිවුදෙනාට සම්බාධක පනවන බවට කැනේඩියානු විදේශ කටයුතු ඇමැති මෙලනි ජොලී මහත්මිය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත.

ඒ අනුව කැනඩාවේ විශේෂ ආර්ථික රෙගුලාසි පනතට අනුව මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, මාණ්ඩලික සැරයන් සුනිල් රත්නායක, ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි මහත්වරුන්ට කැනඩාවේ වත්කම් පවතී නම් වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවන ලබන බවත් ආගමන හා සරණාගත ආරක්ෂණ පනත ප්‍රකාරව මින් පසු කැනඩාවට ඇතුළු විය නොහැකි බවත් නිවේදනය කර තිබේ.

කැනඩාව සහ ජාත්‍යන්තර ප්‍රජාව මානව හිමිකම් කඩවීම පිළිබඳ වගවීම සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්නා ලෙස ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටිය ද ශ්‍රී ලංකා රජය වගවීම සම්බන්ධයෙන් ගෙන ඇත්තේ අර්ථවත් සීමිත ක්‍රියාමාර්ග කිහිපයක් පමණක් බවත් එම නිසාවෙන් මෙසේ සම්බාධක පනවන බවත් එම නිවේදනයේ දක්වා ඇත.

මානව හිමිකම් කඩවූවන්ට යුක්තිය ලබාදිය යුතු බවත් මෙම සම්බාධක පැනවීම මඟින් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සිදු කළ පුද්ගලයන්ට අඛණ්ඩව දණ්ඩමුක්තිය ලබාදීම කැනඩාව පිළි නොගන්නා බවත් පැහැදිලි පණිවිඩයක් ලබාදෙන බව කැනේඩියානු විදේශ කටයුතු ඇමැතිනී මෙලනි ජොලී ප්‍රකාශ කර තිබේ.

More articles

Latest article