29 C
Colombo
සෙනසුරාදා, අප්‍රේල් 27, 2024

නව­සී­ලන්ත විවාහක රූ රැජන ශ්‍රී ලංකාවේ නිෂී

Must read

නවසීලන්ත රූ රැජන තරග ඉතිහාසයේ පළමුවරට ශ්‍රී ලාංකික කාන්තාවකට එරට නියෝජනය කරමින් ලෝක විවාහක රූ රැජන තරගයට සහභාගි වීමේ අවස්ථාවක් උදා වී තිබේ. පසුගියදා නවසීලන්තයේ පැවැති නවසීලන්ත විශ්ව විවාහක රූ රැජන තරගය ජය ගනිමින් එම භාග්‍යය හිමිකර ගනු ලැබුවේ නිමක්ෂි සචීන්ද්‍රි රණතුංග (නිෂී) විසිනි. ඒ අනුව ඇය ලබන වසරේ බල්ගේරියාවේ පැවැත්වීමට නියමිත ලෝක විවාහක රූ රැජන තරගයට නවසීලන්තය නියෝජනය කරමින් තරග වදිනු ඇත. කොවිඩ් වසංගතය හේතුවෙන් පසුගිය වසරේදී මේ තරගය නොපැවැත්වූ බැවින් මෙවර එය පවත්වනු ලැබුවේ 2021 සහ 2022 තරග දෙකම ආවරණය වන පරිදිය. ඒ අනුව ජයග්‍රාහිකාවන් දෙදෙනකු තෝරා ගෙන ඇති අතර, එක් ජයග්‍රාහිකාවක ලබන මස දකුණු කොරියාවේ පැවැත්වීමට නියමිත 2022 ලෝක විවාහක රෑ රැජන තරගයටත්, නිෂී රණතුංග ලබන වසරේ බල්ගේරියාවේ පැවැත්වෙන 2023 ලෝක විවාහක රූ රැජන තරගයටත් සුදුසුකම් ලබා ඇත.

බෝමිරිය මැදි විදුහලෙන් මූලික අධ්‍යාපනය ලබා කොළඹ විශාඛා විදුහලෙන් වැඩිදුර අධ්‍යාපනය ලැබූ නිෂී නවසීලන්තයේ පදිංචියට ගොස් ඇත්තේ 2015 වසරේදීය. ඇය මේ වන විට ඕක්ලන්ඩ් නුවර පදිංචිව සිටින අතර, NZSL නමින් නර්තන ඇකඩමියක් ද පවත්වාගෙන යයි. ශ්‍රී ලංකාවේ සිටියදී විදුර විදුහල, මියුසියස් සහ කොටිකාවත්ත ඒෂියන් ග්‍රැමර් විදුහල්වල ගුරුවරියක ලෙස සේවය කර ඇති නිෂී මේ වන විට ඕක්ලන්ඩ් නුවර විදුහලක ගුරුවරියක ලෙස කටයුතු කරමින් සිටී. පාසල් වියේදී බැඩ්මින්ටන් සහ බාස්කට්බෝල් ක්‍රීඩාවෙන් ද කැපී පෙනෙන දස්කම් පෑ ඇය එවකට පාසල් වේදිකා නාට්‍යවල රඟපා තිබේ.

‘ශ්‍රී ලංකාවේදී මම නර්තන ශිල්පිනියක් විදිහටත් කටයුතු කළා. මම පොඩි කාලේ ඉඳලා චන්න විජේවර්ධන මහතාගේ ගෝලයෙක්. පසුකාලීනව මියුසික් විඩියෝ රැසකටත් රංගනයෙන් දායක වුණා. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විදෙස් රටවල නර්තන තරගවලටත් සහභාගි වෙලා තියෙනවා.‘ දිනමිණ කළ විමසුමකදී ඇය කියා සිටියාය. එවකට ශ්‍රී ලංකාවේ හිටපු ‘මිස් සිලෝන්‘ රූ රැජනක වන චිත්‍රා කාන්තා රණතුංග මහත්මියගේ සහ ව්‍යාපාරිකයකු වන ආර්.ඒ.ප්‍රේමරත්න මහතාගේ කනිටු දියණිය වන නිෂී මෝස්තර නිරූපණ ශිල්පිනියක ලෙස ද කටයුතු කරමින් සිටී. ඇය නවසීලන්තයේ කෙටි චිත්‍රපට නිර්මාණ රැසකට රංගනයෙන් දායක වී ඇති අතර, ජාත්‍යන්තර සම්මාන දිනූ චිත්‍රපට ද ඒ අතර වේ.

More articles

Latest article