30 C
Colombo
සිකුරාදා, අප්‍රේල් 26, 2024

නීතිවිරෝධී ලෙස ගෙන්වූ සීනි තොගයක් රේගු භාරයට

Must read

සුදු සීනි ලෙස අඟවමින් පිටකොටුවේ ව්‍යාපාරිකයකු විසින් ඉන්දියාවේ සිට නීති විරෝධිව මෙරටට ආනයනය කරන ලද දුඹරු සිනි ටොන් 1200ක් රේගු භාරයට ගෙන තිබේ. එහි වටිනාකම රුපියල් මිලියන 240ට අධික වන අතර, මේ සීනි තොගය රාජසන්තක කිරීමට ඊයේ (06) පියවර ගැනිණ.

පෑලියගොඩ ප්‍රදේශයේ පෞද්ගලික ගුදමක මේ සීනි තොගය රඳවා තිබෙන අතර, ඒ තුළ සියයට 50ක් වැඩි ප්‍රමාණයක් දුඹුරු සිනී තිබී ඇති බව රේගුව විසින් අනාවරණය කර ගෙන තිබේ. එම සීනි තොගය මේ වන විට පොලිස් ආරක්ෂාව යටතේ ගබඩා කර තිබේ. මේ සීනි තොගය ආනයනකරු විසින් කිහිප වරකදී මෙරටට ගෙන්වා ඇත. වෙළෙඳපොළේ මේ වන විට රතු සීනි හිඟයක් ඇති වීම හා සිල්ලර මිල ඉහළ යෑම නිරීක්ෂණය කළ ශ්‍රී ලංකා රේගුවේ පශ්චාත් විගණන අංශයේ රේගු අධිකාරී කේ. ශන්මුගදාසන් මහතා මේ සම්බන්ධයෙන් සොයා බලන ලද අතර, ඒ අනුව කූට ව්‍යාපාරිකයකු මෙසේ නීති විරෝධිව සීනි ආනයනය කරන බව සොයා ගෙන තිබේ. ඒ අනුව කරන ලද විමර්ශනවලදී මේ සීනි තොගය සොයාගැනීමට හැකියාව ලැබී ඇති අතර, පසුගිය කාලයේ මේ ව්‍යාපාරිකයා ආනයනය කළ බාහාලුම් 85ක් විමර්ශනය කර ඉන් 45ක තිබී මෙම සීනි තොග සොයාගෙන ඇත. එහි තිබූ සීනි මෙට්‍රික් ටොන් 1215න් හරි අඩික් රතු සීනි බව මේ අනුව සොයා ගෙන ඇත.

මේ සම්බන්ධයෙන් සොයා බැලීමට මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා ඊයේ (06) එහි නීරික්ෂණ චාරිකාවකට එක් විය. එහිදී ඒ මහතා පැවසුවේ ශ්‍රී ලංකාවට ප්‍රමාණවත් දුඹුරු සීනි දේශීයව නිෂ්පාදනය වන බැවින් ඒවා ආනයනය සීමා කර තිබෙන බවයි. ඒ අනුව කිසියම් ස්ථානයක මෙවැනි නීතිවිරෝධි සිදු වීමක් ඇත්නම් ඒ පිළිබඳව රේගුවේ මධ්‍යම බුද්ධි අංශය වෙත දැනුම් දෙන්න ජනතාවට හැකියාව ඇතැයි ද හෙතෙම කීවේය.

0112–471471 අංකය පැය 24 පුරා ඒ් වෙනුවෙන් විවෘතයි. ඒ වගේ ම රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාටද 0112-347881 අංකයෙන් මේ පිළිබඳ දැනුම් දීමේ හැකියාව තිබෙන බවත් මේ තොරතුරු දෙන පාර්ශ්ව ආරක්ෂා කිරීම වගේම ඔවුන්ට සුවිශේෂ ත්‍යාග පිරිනැමීමට රේගුව කටයුතු කරන බවත් ඇමැතිවරයා මෙහිදී කීවේය.

More articles

Latest article